පිළිවෙතින් පෙළ ගැසෙන්නට පෙර .....

‍ මේ දිනවල ජනමාධ්‍යයන්ගෙන් නිතර දෙනව්ලේ මතුරන මන්තරයක් බවට පත්වී ඇත්තේ "පිළිවෙතින් පෙළගැසෙමු" යන්නයි. පිළිවෙතින් පෙලගැසෙමු කියා මිමුණුවාට පෙළගැසිය යුතු පිළිවෙත කුමක්දැයි සැක හැර පහදාගත්තෙක් මේ සමාජය තුළ ඇද්දැයි යන්න ගැටළුවකි.නිතර නිතර ඇසෙන නිසාවෙන් හා බොහෝ දෙනා මුමුණන නිසාවෙන් සුලබ හුරු පුරුදු වචන දෙකක් බවට පත්වී ඇතත් නිසි පිළිවෙත කුමක්දැයි තවත් අයෙකුට පැහැදිලි කිරීමට දන්නා අයෙක් සාමාන්‍ය ගිහි සමාජය තුළ වෙසේදැයි
මදක් විමසා බැලීමට මේ සුදුසුම කාලයයි. දැනට වසරකට පමණ පෙර සිට ඩිජිටල් ප්‍රින්ටින් බැනර් වලින් ගම් දනව් පුරා ව්‍යාප්ත කළ මේ සුන්දර වදන් දෙකේ තේරුම පහදා දෙන්නට යතිවරයාණන් වහන්සේ නමක්වත් මෙතෙක් ඉදිරිපත් වූ වගක් මතකයේ නැත.පිළිවෙතින් පෙළගැසෙන්නට පෙර මේ එළැඹෙන විශේෂ පෙහොය කුමක්දැයි හදුනාගත යුතුය. බොහෝ දෙනාට ඒ පිළිබදවද අවබෝධයක් ඇති වගක් නොපෙනේ. වෙනදා වාගේම පන්සල ළගින් ගොස් තොරණ් බලා දන්සල් වැද ඔළුබක්කන්ද නටා පොඩි ජොලියක් දමා පාන්දර ජාමයේ ගෙදර එන්නට අවස්ථාව ලැබෙන තවත් එක් වෙසක් පොහෝ දිනක් මිසෙක වෙනයම් වැදගත් කමක් ඇද්දැයි වැටහීමක් නැත.
ඒ වැටහීම ලබාදීමට වුවමනාවක් ඇති බවක් බෞද්ධ නායක කාරකාදීන් කෙරෙන් විද්‍යාමාන වන්නේද නැත. ඉතින් ඉක්බිති සිද්ධ වෙනු ඇත්තේද සවසට පුන්සද නැගෙනහිරින් පායා පසුදා අළුයම පෑලදිගින් බැසයන තවත් එක් පොහෝ දිනක් ගතවී යාම පමණි.අළුත් අවුරුද්ද , නත්තල, රාමසාන් උළෙල සේ වෙසක් උත්සවයේ මාකට් කිරීමට යමක් නැති නිසා හෝ එසේ මාකට් කිරීමට ගොස් ගෙල සිද ගැනීමට සිදුවේ යැයි සිතා හෝ වෙළද ව්‍යාපාරිකයෝද වෙසක් උළෙල ගැන පත්තර වල , විද්‍යුත් මාධ්‍ය වල බඩ පිනුම් නොගසති. ඒ නිසාම ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. එක 2600වන සම්බුද්ධ ජයන්තියට වඩා අපේ රටේ පුරවැසියන්ට වැදගත් වී ඇති සෙයක් පෙනේ.

අපි සෑම විටෙකම වැරැද්ද අනෙකා පිට පටවා නිවැරදිකරුවා වන්නට උත්සහ දරන ජාතියකි.බඩු මිළ වැඩිවූ විට රජයට බනී.රජය ලෝක වෙළද පළට බනී.ලෝක බැංකුවෙන් ණය කොන්දේසි පැනවූ විට රජය විපක්ෂයට බනී. විපක්ෂය රජයට බනී. ලිබියාවේ ගැටළුවට ඇමරිකාව මැදිහත්වූ විට ඇමරිකාවට බනී. යුද අපරාධ ගැන හොයනවාට බෑන්කී මූන්ට බනී. එය එසේ නම් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රමුඛත්වය දී ඇති, මෙරට ජනගහණයෙන් 80%ක් අනුගමනය කරන බෞද්ධාගමේ ශාස්තෲන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේගේ 2600 වන ජන්ම දින උත්සවය වෙනුවෙන් රටපුරා බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරමින් සාර්ථක බෞද්ධ පුනරුදයකට මග හසර මතු නොකළාට වැරදි කරුවා කවුද? ගමේ පන්සලේ දායකයින් හැටියට, දහම් පාසැලේ තරුණ සිසුන් හැටියට, වෙනත් සමිති සාගම් වල ක්‍රියාකාරිකයින් හැටියට අප විසින්ම පෙරමුණ ගෙන සංවිධානය කළ යුතු දාන,ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවන් තවකෙකු විසින් සංවිධානය කරන තුරු බලා සිටින මට්ටමට අප පත්වූයේ ඇයි දැයි
අප අපෙන්ම විමසා බැලිය යුතුය.මෙම ස්වයං අරාජිකත්වය එකිනෙක හා බැදුණු හේතු කාරණා ගණනාවක් නිසාවෙන් ඇතිවූවක් බව කරුණු කාරණා විමසා බලන කළ පෙනී යයි.

මෙරට පමණක් නොව අද ලෝකය පුරාම සංවිධානාත්මක ආගමික සංවිධානය සතු වන්නේ ඉස්ලාම් භක්තිකයින් හටය. ඔවුන් සෑම දෙනාම කුමන කර්තව්‍යක් තිබුණත් සිය ආගමික නියමයන් පිළිපැදීම අත් නොහරිති. ඒවායේ සංවිධාන කටයුතු වෙනුවෙන් අවශේෂ භේද භින්නතා ඉස්මතු කර නොගනිමින් එකාවන්ව වෙහෙසෙති. ඉස්ලාම් පූජකවරුන් කෙරෙහි ඔවුනගේ ඇති ගරුත්වය ඉහලින්ම පවත්වාගෙන යන අතර එම ගෞරවය බිද හෙලා නොගැනීමට පූජකවරුන්ගේ උත්සාහයද එසේමය.රටේ රාජ්‍ය නීතිය පැවතුනද ඔවුනගේ පල්ලි හරහා වැරදි කරන්නවුන්ට දඩුවම් නියම කිරීමේ ක්‍රමයක් පවතී. එහෙත් එයින් දඩුවම් ලැබූවෙකු පල්ලියට විරුද්ධව මානව හිමිකම් නඩුවක් පැවරූ අවස්ථාවක් නැත.නිදහස් ආගමක් අදහන්නන් වශයෙන් බෞද්ධාගමිකයන් නම් එය අනුමත නොකළත් අද වන විට බෞද්ධාගමිකයින් බොහෝ දෙනෙකු සිය ආගම සැහැල්ලුවට ගෙන ඇත.
මෙරට ක්‍රියාත්මක අනෙකුත් සියළු ආගම් වලට සාපේක්ෂව විද්‍යාත්මක ක්‍රමවේදයක් සහිත ඓතිහාසික සත්‍යයන්ගෙන් සමන්විත වූ බෞද්ධාගමික සමාජයයන් පන්සල හා පවතින බැදීම අවම මට්ටමකට පත්වූයේ ඇයි?

පළමු කාරණාව නම් අපේ බෞද්ධාගම තුළ පවතින නිදහස් ආකල්පයයි.එහිදී පෝය දිනකටවත් පන්සල් යාම අනිවාර්ය කර නැත. ඒ නිසා පෝය දිනටත් පන්සලට නොගොස් වෙනත් අවශේෂ කාර්යයන් වල නිරත වන බෞද්ධයන් අනෙකුත් දිනකදී වුවද පන්සලට පස් පාගන්නේ නැත. දෙවැන්න අවිවේකයයි. මෙරට නාගරික හා අර්ධ නාගරික ජනතාවට අද දවසේ සිය එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමට දවස මදිය. රැකියාවට පැය අටකුත් මගට පැය හතරක් පහකුත් වැයකරන ඔවුන්ට නින්දට පැය හයක් වෙන්කළ විට ඉතිරිවන්නේ කා බී නා කියා ගැනීමටවත් තරම් නොවන කාලයකි. ඉනිදු පැය දෙකක්වත් රූපවාහිනියට හෝ පරිගණකයට යොමු වූ විට ඉතිරිවන කාලයක් නැත. නිවාඩු දිනයක් ලැබෙන තුරු බලාසිටින්නේ රෙදි සෝදා - කාමරය, ගෙය අස්පස් කර ගැනීමටය.එකදිගට දින දෙක තුනක් නිවාඩුනම් නෑදෑ ගමනකි. නැත්නම් වෙළද සවාරියකය. ඒත් නැතිනම් විනෝද චාරිකාවකය.අසල්වාසීන්ගේ හිතවතුන්ගේ මල ගෙයක් මගුල් ගෙයක් පවා කරදරයක් හැටියට හිතන සමාජයක් බිහිවී ඇති විට පන්සල ගැන කවර කතාද?

මෙසේ බෞද්ධාගමිකයන් පන්සල හා පවතින සබදතා ගිලිහීයාමට හේතුගණනාවක් දැක්විය හැකි වුවද ඒවා මගහැරවීමට බෞද්ධ ස්වාමීන් වහන්සේ ලාගේද උත්සාහයක් නැත.මෑතක්වන තුරුම රටේ පාලක තන්ත්‍රයට ඉහළින් බලපෑමක් කළ හැකි මට්ටමින් වැජඹුණු මහා සංඝරත්නය අද වන විට එම ගරුත්වය නොලබන දේශපාලකයන් හෝ ඔවුන්ගේ එහෙයියන් වෙමින් කටයුතු කරන මට්ටමට පත්වී ඇත.අද දිනය වන විට ත්‍රෛනිකායික මහ නායක වහන්සේලා අතර පවා දේශපාලන වරදාන වරප්‍රසාද වෙනුවෙන් පාවාදීම්, මගහැරීම් හා ඉදිරිපත්වීම් හදුනාගත හැකිය. මෑතකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත වූ සංඝාඥාවක් අවසන් මොහොතේ ඉවත් කර ගත් ආකාරය ඊට හොදම නිදසුනකි.අද සංඝයා වහන්සේලා ගේ විනය ගිහි සමාජය ඉක්මවා යමින් පරිහානිය කරා ගමන් කොට ඇත. සංඝයා වහන්සේලා යනු ගිහි සැප සම්පත් අත්හැර තමන්ගේ හා තම දායක කාරකාදීන්ගේ ලෝකෝත්තර
දියුණුව උදෙසා මගපෙන්වීම් කළ යුතු පිරිසකි. එහෙත් අද දවසේ සාමාන්‍ය ගිහියෙකුට තම ජීවිත කාලය තුළ කිසිදාක ළගාකර ගත නොහැකි මාදිලියේ රථවාහන,ජංගම දුරකථන,සන්නිවේදන උපකරණ, ගෘහභාන්ඩ, නිවාස ඉඩකඩම් හා ලිංගික සතුට භුක්ත විදින සංඝයා වහන්සේලා අපමණය.මේ ලියන මා මෙන්ම කියවන ඔබද මේවා සත්‍ය බව දනිමු. එහෙත් ඒවාට එරෙහි නොවෙමු. මන්ද සංඝ සමාජය ට කුඩා කාලයේ සිටම අප සතුව පවතින ගරුත්වය එවැනි විරුද්ධ වීමකට අවශය පෞරුෂය අපට ලබා නොදෙන නිසාය.

එහෙත් තවදුරටත් එවැනි නිහඩතාවයකින් වන හානිය ආපසු හැරවීමට නොහැකි ව්‍යසනයක් කරා මෙරට සංස්කෘතිය පල්ලම් බස්වනු ඇත.එබැවින් මේ එලැඹී ඇත්තේ නිහඩතාවය බිදිය යුතු අවසන් අවස්ථාව බව සිතට ගත යුතුය. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසක යන සිව්වනක් පිරිසෙන් සුසැදි බෞද්ධ සමාජයේ එකිනෙකා කෙරෙහි පවත්වා ගතයුතු යුතුකම් හා වගකීම් ගණනාවක් විනය ග්‍රන්ථයන්හි පෙන්වා දී ඇත.එහෙත් අද දවසේ මේ එකිනෙකා එකිනෙකාගේ යුතුකම් හා වගකීම් පැහැර හැර හෝ අතික්‍රමනය කර ඇත.ගිහියන්ට වඩා හොදින් දේශපාලනය කරන්නනට භික්ෂූන් ඉදිරිපත් වෙති. භික්ෂූන්ට වඩා හොදින් බණ කියන්නට, භාවනා වැඩසටහන් ඉදිරිපත්කිරීමට ගිහි පිරිස් ඉදිරිපත් වෙති. ගිහියන් විසින් ප්‍රසිද්ධ භික්ෂූන් වටා ගොඩනගන සිවිල් බලය නිසාද ආගමික සංකල්ප අභිභවා යමින් වෙනත් වෙනත් ආකල්ප බෞද්ධ සමාජය තුළ පතුරුවා හරී. මාතෘ දිව්‍ය රාජ සංකල්පය සේම මෛත්‍රී බුදුන් වෙනුවෙන් පවත්වන පූජාවන් ආදිය මෙවැනි ආගන්තුක ආගමික සංකල්පයන්ය.පාරිශුද්ධ ථෙරවාද සම්ප්‍රදායයන් අභිබවා යමින් මහායාන සංකල්පයන් ප්‍රචලිත කිරීම සදහා අදාල භික්ෂූන්ට අනුමැතිය ලැබුණේ කාගෙන්ද යන්න විමසා බැලිය යුතුය.එසේම ගිහි පාර්ශවයන් විසින් පවත්වාගෙන යන භාවනා පන්ති හා වැඩසටහන් ආදිය හා අරහත් පාඨමාලා,සහතික ප්‍රදානයන් ආදියේද ගුණාත්මකභාවය ප්‍රශ්ණ කරන්නට කෙනෙක් නැත.

මෙරට බෞද්ධාගමේ ප්‍රධානියෙකු හැටියට හදුන්වා දිය හැකි අයෙකු නැත.එහි විනය, ආකල්ප, පැවැත්ම පිලිබද තීරණ ගත හැකි මට්ටමේ පවතින කිසිදු ආයතනයක් නැත.මහ නායක හිමිවරුම සතර දෙනෙකි. තවත් අවශේෂ සංඝ නායකලා හොණ්ඩර ගණනට සිටිත්. එහෙත් උන්වහන්සේලා ට ඇත්තේ කුමන වගකීමක්දැයි ප්‍රශ්ණ කරන්නට කෙනෙක් නැත. ඒ වගකීම ඉටු කරනවාදැයි සොයන්නට කෙනෙක් නැත. එසේම ඒ ඒ තනතුරු ලැබෙන්නේ උනන්දුවෙන් වැඩකළ හැකි වයසේදීද නොවේ. බොහෝ විට ඒවා ලැබෙන්නේ මරණය පෙනෙන මායිමේ හැට පැන හොට බිම ඇනෙන වයසේදීය. වාක්‍යක වචන පහ ගලපා ගන්නට විනාඩි පහක් පමණ ගතවන වයසේදීය. ඉතින් උන්වහන්සේලාට තනතුරෙන් ගත හැකි වැඩක් වෙත්නම් කවුරු හෝ ලියා දෙන ප්‍රශස්ති ප්‍රකාශයකට අත්සන තැබීමෙන් පමණකි. ඉදින් එයින් සිදුවන්නේද බෞද්ධාගමේ දියුණුව උදෙසා යමක් යැයි කෙසේ ප්‍රකාශකළ හැකිද? බුද්ධශාසන අමාත්‍යංශයක් ඇත. එහෙත් එයින් සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත. ආධාර ලැබිය යුතු පන්සල් හා වෙහෙර විහාරස්ථාන ගැන සංඝ සමාජයේ අධ්‍යාත්මික දියුණුව ගැන උන්වහන්සේලාගේ ‍භෞතික අවශ්‍යතාවයන් ගැන විමසීමක්
එයින් සිදුවෙනවාදැයි විමසන්නෙක් මේ සමාජයේ නැත. සමහර අවස්ථා වල බුද්ධශාසන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතියද එය බොහෝ විට පැවරෙන්නේ දේශපාලන වශයෙන් ආබාධිත නැතහොත් සංවේදී තාවයක් නොමැති කොන්කල යුතු මට්ටමේ දේශපාලකයෙකු අතටය. එබැවින් එයින් බෞද්ධයාට වන සෙතක් ඇත්තේම නැත.

අද මෙරට ගම්මාන වල "අපේ පන්සල" වෙනුවට ඇත්තේ "හෙළ උරුමයේ"පන්සල්ය. "යූ.ඇන්.පී.යේ "පන්සල්ය. "මහින්ද මහත්තයාගේ " පන්සල්ය. කොටින්ම මෙරටට බුදුදහම ලැබුණු මිහින්තලාවේ ඇත්තේ "ජෙනරාල්"ගේ පන්සලය. එහි චෛත්‍යයේ සුදු හුණු ටිකක් ගාගන්නටවත් ප්‍රතිපාදන වෙන්කරන්නට පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව, බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපත් වී නැත.එහි අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා රජයේ අනුග්‍රහය නැත.එහෙත් රජයේ පාර්ශවයේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා පෙනී සිටින අතුරළියේ රතන හිමියයන්ට, ඕමල්පේ සෝභිත හිමියන්ට, චම්පික රණවකලාට ඒවා වැරදි බව කියන්නට කට ඇරෙන්නේ නැත. හේතුව මිහින්තලේ පන්සලේ නායක හිමියන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් මෙහෙයවූ මැර කල්ලියක් පිළිබදව නිවැරදිව සාකෂ්‍ය දීම හා ජනරාල් සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීමය. අවසානයේ 2600වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එහි පිරිසැකසුම් සිදුකෙරුණේ බෞද්ධයෙකු නොවන ටිරාන් අලස් මහතාගේ සමාගමෙන් හා වෙනත් පරිත්‍යාගශීලීන්ගන් ලැබුණු දායකත්වයෙනි. එසේම කුඩු කාරයන් ගංජා කාරයන් පිරුණූ බිමක් වූ මාලිගාවත්තේ පන්සලක විසූ ඌවතැන්නේ සුමන හිමියන් අද සිටින්නේ කුඩු කාරයින් ගංජා කාරයින් සමග වැලිකඩ හිරගෙදර වාට්ටුවකය. ඒ උන්වහන්සේගේ පන්සලේ ආයුධ සගවා තැබූ නිසාලු. කලකට පෙර පාලක පක්ෂයේ
දේශපාලන තනතුරක් දැරූ උන්වහන්සේට එසේ සිරගත වන්නට සිදුවන්නේ සිය දේශපාලන මතය පසුකලෙක වෙනස් කළ නිසා බව ප්‍රසිද්ධ රහසකි.
බෞද්ධාගම විනාශ කිරීමට පවතින බාහිර කුමන්ත්‍රණ වලට වඩා ප්‍රබලව එහි විනාශය උදෙසා බලපාන්නේ එහි පවතින මේ අරාජික ස්වභාවයන්ය. ඒ නිසා යුහුසුලුව සිදු කළ යුත්තේ ඒ අරාජිකත්වය අවසන් කිරීමය. ඒ සදහා ගමත් පන්සලත් අතර පවතින බැදීම ශක්තමත් කළ යුතුය. එය සිදුකළ හැක්කේ තරුණ ජවයෙන් යුත්,සිල්වත් , අරහං ගුණයෙන් යුත් සුපේක්ෂල භික්ෂූන් වහන්සේලා පන්සල් තුළ ඉතිරි කර රහසින් හෝ ප්‍රසිද්ධියේ පස් පව් බිදින චීවරධාරීන් ශාසනයෙන් ඉවත් කිරීමෙනි. ඒ සදහා අනිවාර්යයෙන්ම "සංඝාධිකරණයක්" පිහිටවිය යුතුය.එසේ දඩුවම් ලබන ස්වාමීන් වහන්සේලා ගිහි පිරස් සමග නොරදවා උන්වහන්සේලාගේ අධ්‍යාත්මය වර්ධනය කරගත හැකි පුනරුත්තාපන ක්‍රියාමාර්ගයකට යොමු කළ යුතුය.එසේම සිව්වනක් පිරිස විසින් ථෙරවාද සම්ප්‍රදායයන් අභිභවා යමින් සිදුකරන පුදපූජා විධි හා නිර්මාණය කරන ආගමික සංකල්ප පිළිබද තීරණ ගත හැකි උපදේශක සභාවක් පිහිටුවිය යුතු අතර එයට පාලක බලතල ලබාදීමේ අවශ්‍ය තාවයක්ද ඇත. එසේම ධර්ම සංඝායනාවක් පවත්වා නිසි දේ ඉතිරි කර අනිසි දේ බැහැර කර ධර්මය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකළ යුතුය.එවැනි සෘජු තීන්දු තීරණ ක්‍රියාත්මක
කර මිසෙක බුද්ධාගමේ හෝ බුද්ධ ධර්මයේ තිර පැවැත්ම තහවුරු නොකලහොත් එය නායකයෙකු නැති ගැලක ගමනකට සමානව ඉක්මනින් විනාශය කරා යාම නොවැලක්විය හැකිය.
Email: outofboxsrilanka@gmail.com

Comments

  1. sahodaraya oya nam ela.. math oya gana liwwa macho wistharath ekka bokkenma dila kiyanna wachana na. kollo ubage witharath ekkama me lipiya mage blog eke dammata kamak nadda? math me hasambanda kata karana wena blok ekak karanawa ubawa contact kragattanam hodai wag.. math ekak liwawa wistharanam godak na. mata liwime hakiyawa madi....

    ReplyDelete
  2. http://pissupu.blogspot.com/2011/05/2600.html

    ReplyDelete

Post a Comment