පදික වෙළෙන්දන් එලවීමෙන් " ආසියාවේ ආශ්චර්යය" බවට පත්වීම


අඵත් ආන්ඩුව තවම දිව්රැම් දුන්නා පමණය."ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය" කිරීමේ පොරොන්දු ඉටුකිරීම දැන්මම ආරම්භ කර තිබේ.ඒ සඳහා මුලින්ම තෝරාගෙන ඇත්තේ දුර්වලයාට පා පහර දී පන්නා දැමීමේ කාර්යයයි.එනම් පදික වෙළෙන්දන් දිවයිනේ ප්‍රධාන නගර වලින් ඉවත් කිරීමේ කාර්යයි.ඇරඹුණේ දෙහිවලිනි. ඒ මර්වින් සිල්වාගේ බාර් වැසිල්ලටම සමාන ආකාරයේ "නිල නොවන" ක්‍රමයේ උපාය මාර්ග යොදා ගනිමිනි.පැරදුණු රජයේ පාර්ශවයේ අපේක්ෂකයෙකුට සහයෝගය නොදැක්වීයැයි කියමින් පසුගිය සතියේ දින කිහිපයක් එම ප්‍රදේශයේ පදික වෙළදුන් ඉවත් කිරීමටත් - ත්‍රී රෝද රථ ගාල් කිරීම අත්හිටුවන්නටත් ක්‍රියා කෙරිණි. ඊළගට පදික වෙළදුන් පන්නා දැමුයේ මහනුවර නගරයේය. එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 26 වනදාය. ඊයේ (අප්‍රේල් 27)සවස පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළදුන් වෙත අවසාන නිවේදන නිකුත් කර තිබිණි. ඒ අද පෙරවරැව වන විට සියලු බඩු බාහිරාදිය ඉවත්කරගෙන ඉවත්ව යන ලෙසටයි.නිවේදනය නිකුත් වී තිබුණේ ආරක්ෂක ලේකම් වරයාගෙන් බවට එම ‍දැනුම් දීමේ නිවේදනය රැගෙන ආ පොලිස් පොඩ්ඩෝ වෙළෙන්දන්ට පවසා තිබූ බවට මෙම ලේඛකයාට දැනගන්නට ලැබිණි.අද පෙරවරැවේ කොටුවේ සිට පිටකොටුව බෝධිය දක්වා වන සියලුම පදික වෙළද තට්ටු පොලීසිය විසින් ඉවත් කර තිබේ.දැනට ඕල්කට් මාවතේ ඉතිරි වී ඇත්තේ පිටකොටුව ලංගම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති පදික වෙළද සැල් කිහිපය පමණි.එයද හෙට එළිවන විට ඉවත් වී තිබෙන්නටද පුලුවන.

පිටකොටුවේ පදික වෙළඳසැල් ඉවත්කිරීම වසරකට පමණ වරක් සැමදාම නිරන්තරයෙන් සිදුවුණි.ඊට දින කිහිපයකට පසු අදාළ වෙළෙන්දන් විසින් ඒවා යළී ඉදිකර ගත්තේය.එහෙත් පසුගිය වසරේ ලංගම බස් නැවතුම් පළ වටා පිහිටි වෙලඳසැල් ඉවත් කිරීමෙන් පසු යළි ඉදිකරන්නට කිසිදු ආකාරයක අවසරයක් ලබා නොදෙන්නට බලධාරීන් දැඩි තීරණයක සිටියෝය.මෙවරද එමබදුම දැඩි තීරණයකින් කටයුතු කරන්නට සූදානම් වන බව බලධාරීන්ගේ කටයුතු කිරීම් අනුව පෙනී යයි.ඕල්කට් මාවතේ පදික වෙළදුන්ට අත්වූ ඉරණම පිටකොටුවේ සහ රටේ අනිත් ප්‍රදේශ වල වෙළෙන්දන් වෙතද අත්වීමට තව වැඩි දිනක් ගත නොවනු ඇත.පිටකොටුවේ ප්‍රමුඛව රට පුරා තිබෙන පදික වෙළද තට්ටු හා කඩ නගරයේ ක්‍රමවත් බවට හානියක් බව සැබෑවකි.එහෙත්
එවැනි අනවසර වෙළදාම් නිසා යැපෙන දහස් ගණනක් වූ පිරිසද මෙරට පුරවැසියෝය.ඔවුන් කිසිදු දිනක රැකියාවක් පතා උද්ඝෝෂණ කරන්නට නොයමින් තමන්ගේ ආර්ථික මට්ටම අනුව සුලු වෙලද ද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගනිමින් රටට බරක් නොවන සේ තම ජීවිතය ගැට ගසාගත් පිරිසක් වූහ.එසේම පදික වෙළදපොලෙන්ම භාණ්ඩ මිළදී ගැනීමට පැමිණෙන දහස් ගණනක් වූ පාරිබෝගික පිරිසක්ද ඔවුන් වෙත විය. එසේ ඔවුන්ගෙන් භාණ්ඩ මිළදී ගත් බොහෝ දෙනා සොච්චම් වැටුප් ලබන රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ය.සිය මූලික අවශ්‍යතා වෙනුවෙන් වැටුපෙන් වැඩි කොටසක් වැය කරන ඔවුනට අවශ්‍ය ඇදුමක,පළතුරක,ඉලෙක්ට්‍රොනික උපාංගයක අවශ්‍යතාවය පදික වේදිකාවෙන් සපුරා ගත්තේ එහිදී පවතින සාමාන්‍ය මිළට වඩා කීයක් හෝ අඩුවෙන් මිළ ගණන් තීරණය වන නිසාය.කෙසේ නමුත් පදික වේදිකාව තුළ පාරිබෝගිකයන්ට අක්‍රමිකතාවයන් ඇතිවූ අවස්ථාද විරල නොවන බව සැබෑවකි.නමුත් නීතිය වල් වදින තුරැ ඇස් කන් පියා බලා සිටින බලධාරීන් සිටින රටෙක එවන් සිද්ධි සිදු වනුයේ පදික වේදිකා තුළ පමණක් නොවන බවද
අප වටහා ගත යුතුය.

මෙවර නාගරික සංවර්ධන විෂය පථය පැවරී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතටයි. එවන් තීරණයක් ගත්තේ නගර සංවර්ධනය කෙරෙහි දේශපාලකයන්ගේ අනිසි බාධාකිරීම් ආදිය වැළැක්වීමට බව අදාළ තීරණයට හේතු දක්වමින් පවසා ඇති බව වාර්තා වේ.නගර සංවර්ධනය අත්‍යාවශ්‍ය බව සැබෑවකි.එහෙත් නගර සංවර්ධනය කරන්නේ කා සඳහාද යන්න වටහාගත යුතුය.පිටකොටුව ඇමරිකාවේ නිව්යෝර්ක් කරන්නට වත්, මහනුවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් කරන්නට වත් මෙරට වෙසෙන බහුතරයක් වූ මධ්‍යම පාන්තික වැසියෙකුට උවමනාවක් ඇති නොවනු ඇත.මන්ද ඊළග පඩියෙන් කඩේ ණය ටික බේරා ඉතිරි මුදලින් ළමයින්ට ඇඳුම් ආයිත්තම් අරන් දෙන්නට ද, ඔරලෝසුවක්, හිරමණ කෑල්ලක් ,ඇපල් ගෙඩියක් ගන්නට ඔවුන්ට යා හැක්කේ නගරයේ පදික වේදිකාවට මිසෙක ෆුඩ්සිටියට,සිටි සෙන්ටර් එකට, මැජස්ටික් එකට හෝ ඔඩෙල් එකට
නොවන බැවිනි.එසේම ඉවක් බවක් නැතිව කෙරෙන පදික වෙළදුන් ඉවත් කිරීමේ කාර්යය නිසා පිටකොටුවේ පමණක් දෙදහසකට ආසන්න පිරිසකට සෘජුව සිය ජීවනෝපාය ඇහිරී යයි. එසේම ඔවුන් නිසා යැපෙන පවුලේ සාමාජිකයන්ද,ඔවුන්ගේ ආහාරපාන, නවාතැන් ආදිය නිසා ආදායම් ලබන බොහෝ දෙනෙකුටද සිය ජීවනෝ පාය අහිමි වී යයි.අනෙක් ප්‍රධාන කාරණය නම් පිටකොටුවේ පදික වේදිකා වල වෙළඳාම් කරන බහුතරයක් කොළඹින් ඈත ප්‍රදේශ වල පිරිස්ය. එනම් දකුණේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල පිරිස්ද, කඳුකරයේ නුවරඑළිය, බදුල්ල, මාතලේ, මහියංගණය වැනි ඈත ප්‍රදේශ වල සිට පැමිණෙන සිංහල හා දෙමළ බහුතරයක් පිටකොටුවේ පදික වෙළදාම් කරති. මුස්ලිම් පිරිස් පමණක් ඒ අවට පුද්ගලයින්ය.මෙවැනි පිරිස් වලට ගමේදි රැකියාවක් කිරීමට නොහැකි නිසා කොළඹට ආවද යළි රැකියාවක් නොමැතිව ගමට ගොස් සිටින්නට හැකිවේද? නැත.ඔවුන් කොළඹම සිට රැකියා කර ගමට මුදල් යැවිය යුතුය.

පදික වෙළදුන් සමගම අලුත් ආණ්ඩුවෙන් බැට කෑ අනෙක් පිරිස යාචකයන් හා මගී බස්රථ වල හා දුම්රියේ වෙළඳාම් කල සංචාරක වෙළෙන්දන්ය.ලබන මස පළමු වෙනිදා සිට ඔවුනටද සිය රැකියාව හෝ ජීවනෝපාය සිදු කිරීම තහනම් කොට ඇත.සෘජුව බැලූ කල වෙළෙන්දන් හා යාචකයන් මගී ප්‍රවාහන රථ වලට නැගී සිය ආදායම් සපයා ගැනීම මගී ජනයාට බාධාවකි.එහෙත් එය නීතිරීති මගින් නැවැත්වීමෙන් පසු ඔවුන් සිය ජීවනෝපාය සපයා ගන්නේ කෙසේද යන්න නීති සකසන බලධාරීන් විමසා බැලුවේද යන්න සැකසහිතය.නීතිය යනු මකුලු දැලක් බවත් බලවතා එය බිඳ දමා යද්දී දුබලයා එහි පැටලෙන බවටත් වරෙක උපුල් ශාන්ත සන්නස්ගල යන් විසින් සාකච්ඡාවකදී පැවසූ කථාව යථාර්ථයක් වීම සමාජමය වශයෙන් කෙතරම් ඛේදනීයද?1991 සාක් සමුලුව ලංකාවේ පැවති අවස්ථාවේ කොළඹ නගරයේ අලංකාරය වෙනුවෙන් යැයි කියමින් ප්‍රේමදාස ජනාධිපතිවරයාද නගරයේ සිටි යාචකයින් හා ගායකයින් හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ කදවුරක ගාල් කළේය.මෙම සිද්ධිය එකළ බොහෝ ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර එයින් සිදුවූයේ අදාල රාජ්‍ය නායකයින්ගේ සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ විශේෂ අවධානයක් මෙම පිරිස වෙත යොමු වීමයි.එහෙත් සාක් කලාපයේ ප්‍රබලයා වන ඉන්දියාවේ නවදිල්ලි නගරය අදද යාචකයින්ගේ හා පදික වෙළදුන්ගේ ග්‍රහණයෙන් ගිලිහී ගොස් නැත. නමුත් ඉන්දියාවේ පාලකයින් ලංකාවේ පාලකයින් මෙන් ආටෝප ක්‍රියාමාර්ග යොදාගනිමින් පැලැස්තර විසදුම් සොයන්නට උත්සුක වන්නේ නැත.අප තේරැම් ගත යුතු වන්නේ අප දකුණු ආසියානු කලාපයේ රටක් මිසෙක යුරෝපයේ රටක් නොවන බවයි.


අපේ රටේ ප්‍රධාන නගර පද්ධති අද දවසේ අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි ගොඩනැගී නැති බව ලේඛකයාද පිලීගනී. ඒ නිසා ඒවා නිසි පරිදි සැලසුම් කර සංවර්ධනය කළ යුතු බවද සැබෑය.එහෙත් අනෙක් සියලු ව්‍යුහයන් එලෙසම තිබියදී පදික වෙළෙන්දන්, සංචාරක වෙළෙන්දන්, යාචකයන් නගර වලින් ඉවත් කිරීමෙන් තත්වය උඩු යටිකුරැ කළ නොහැක. පළමුව ඉවසීමෙන් සැලසුම් සකස් කළ යුතුය.පසුව ඒවා ජනතාව හමුවේ සාකච්ඡා කිරීමට භාජනය කළ යුතුය.තෙවනුව පියවරෙන් පියවර අදාළ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය.එසේ නොමැතිව රෑ එළිවන විට අකුළාගෙන යන්නැයි නියෝග දී ගලවා ඉවත් කිරීමෙන් පසු අදාළ පදික වෙළදුන්, ඔවුන්ගේ සෙවකයින් ජීවත් වන්නේ කෙසේද? ඔවුන් සඳහා විකල්ප ස්ථාන සූදානම් කර දීමෙන් පසු ඔවුන්ට ඉවත් වන්නට යැයි පැවසීම සාධාරණය. නමුත් විකල්ප ලබාදීමේදී විය යුත්තේ ව්‍යාපාරය පවත්වා ගැනීමට ගැලපෙන තැනක ඒවා ලබාදීම මිසෙක ජනයා නොගැවසෙන ප්‍රදේශයක ගොඩනැගිලි ඉදිකර දී දුරාචාර සඳහා මග පාදාදීම නොවේ. අද පිටකොටුවේ ගුණසිංහපුර ප්‍රදේශයේ ඉදිකළ ව්‍යාපාරික ගොඩනැගිලි වලට අත්වී ඇත්තේ ඒ ඉරණමයි.එසේම එසේ ඉදිකරන ගොඩනැගිලි පවරා දිය යුත්තේ සැබෑ පදික වෙළෙන්දාට මිසෙක වෙනත් ව්‍යාපාර හිමි පිරිස් වලට හෝ නගර සභා මන්ත්‍රීවරැන්ට හා ඔවුනගේ ගෝල බාලයන්ට නොවේ. පිටකොටුවේ බෝධිරාජ මාවතේ ඉදිකල පදික වෙළද සංකීරණයේ වෙළද සැල් හිමිවී ඇත්තේ ඒ ආකාරයට බව ලේඛකයා වගකීමෙන් ප්‍රකාශ කර සිටී.

අලුත් ආණ්ඩුව ආරම්භයේදීම සිදුකරන්නට යන මේ අමනෝඥ ක්‍රියාව නිසා දස දහසකට අධික පිරිසකගේ හෙට දවස අවිනිශ්චිත වී ඇත.සිදුවිය යුත්තේ කළ වරද පිළීගෙන නිසි සැලසුමකින් පසු ඔවුන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්නා තුරැ යළි ඔවුන්ට අදාළ ව්‍යාපාර වල යෙදීමට ඉඩ ලබාදීමයි.එසේ නොවුණහොත් පිටකොටුව හැර නොයන මේ පදික ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් සිය ජීවන මාර්ග සකසා ගැනීම වෙනුවෙන් නීති විරෝධී අපචාර, දූෂණ හා වංචා ක්‍රියාමාර්ග වෙත යොමු වීමෙන් භයානක ගැටලුකාරී තත්වයන් මතුවීමේ ඉඩකඩ ඇතිවීමත්, ඔවුනගේ පවුල් සංස්ථා සබඳකම් බිදවැටීමේ ඛේදවාචකයක පෙරමග සැකසීමත්ය.

Comments

  1. කතාව ඇත්ත... මේකෙන් ඒ මිනිස්සුන්ට වෙන අපහසුතා ගැන මොනවත් නොකලොත් තව ප්‍රශ්න ගොඩකට මුල...නියමයි ලිපිය...!!!

    ReplyDelete
  2. මචන් පදික වේදිකා තියෙන්නේ පදිකයන්ට නැතුව අනවසර වෙලදන්ට නෙමේ.වෙලදපොලවල් තියෙන්නේ වෙලදාම් කරන්න නැතුව පදිකයන්ට ගමන් කරන්න නෙමේ.
    හැමදෙටම සීමවාක් තියෙනවා.හැබැයි මටත් දුකයි මම දන්න හුගක් හොද අවංක පිටකොටුවේ කොල්ලො ටිකකට වෙච්ච දේ.උන්ව හෙව්වත් මට හොයා ගන්න බැරි උණා.උන්ගේ දරු පවුල් කෝම ජීවත් වෙයිද දන්නේ නැ මේ දවස් ටිකේ.නමුත් පොඩ්ඩක් හිතුවද මේ ගොල්ලෝත් කරන්නේ නීති විරොධි වැඩක් කියලා.එක හින්දා මම හිතන්නේ මේ කරපු වැඩේ හොදයි බහුතරයක් වශයෙන් ගත්තාම.හැබැයි අර ජිවත්වෙන්න විධියක් නැති මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් හැදුවනම් තමා හොද.

    ReplyDelete

Post a Comment