මේ දෙසැම්බර් 31 "යහපාලන" රජයට තීරණාත්මක නැත....Y2K Bug තරම්වත් යකා කළු නැත

   ඒ උසස්පෙළින් පසු පාසැළෙන් සමුගත් මා සමාජානුයෝජනය වන්නට පටන්ගත් අවධියයි... පරිගණකය ඇසුරුකරමින් ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රයේ අතපත ගෑම් කළ අවධියයි... තත්පරයට කිලෝබයිට් වලින් පැමිණි අන්තර්ජාලය නාගරික අතලොස්සක් අත වැජඹුණු කාලයයි... ඒ දිනවල ගෘහභාණ්ඩයක් නොවූ "ඩෙස්ක්ටොප් පරිගණකය" දුටු දුටු දනට අරුම පුදුම මැජික් පෙට්ටියක් වූ අවධියයි. ඒ ගැන ඇසූ පිරූ සාමාන්‍ය ජනයා ඉදිරි වසර කිහිපයේදී පරිගණකය ලෝකයේ සමස්ථ පාලනය සියතට ගනු ඇතැයි විශ්වාස කළ අවධියයි. එසේ වූ කළ යමක් කමක් කර උපයාගෙන කාබී හවසට පිනක් දහමක් කර (ඒ දවස් වල තමන්ගේ ගැටළු වෙනුවට අනුන්ගේ ගැටළු ඔළුවට ඔබා යථාර්තය සඟවාලන  මෙගා නාට්‍ය කියා ජාතියක් තිබුනේ නැත.) ජීවිතය ගෙවා ගන්නේ කෙසේදැයි සිහින දකිමින් සිටි අවධීයයි... 

ඒ සමස්ථ විශ්වාසය බිඳ හෙළන්නට දුරුතු පෝයෙන්ම ආරම්භ වූ 1999 වර්ෂය සමත්වූයේ එළැඹෙන 2000 වසරේ "සහස්‍රය" ගැන අනියත බියක් සමස්ථ ලෝකවාසී ජනයා තුළම ඇති කරවමිනි. ඒ වන විටත් පරිගණක පද්ධති වලින් පූර්ණව පාලනය වන බැංකු, වෙළඳ ආයතන, සෞඛ්‍ය සේවා අත්විඳිමින් සිටි දියුණු ලෝකවාසී ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් කූපන් මුද්දරයට, සමෘද්ධි සහනාධාරයට සමූපකාර භූමිතෙල් පෝළිමේ , බැංකු පෝළීමේ සිටි ලාංකීය අපිද එක්වී "සහස්‍රයේ" වෙනස නිසා සිදුවිය හැකි ව්‍යසනයට එරෙහිව මහා භීතියක පැටලුණෙමු. භීතිය ව්‍යාප්ත කරන්නට දායක වූ මූලය නොසොයාම මෙරට මුද්‍රිත ජනමාධ්‍යයද, විද්‍යුත් ජනමාධ්‍යයද අද තරම් පහත් මට්ටමට නොවැටෙමින් වුවද පිටු ගණන් ලිපිද, පැය ගණන් කතිකාවත්ද ඉදිරිපත් කළහ. සමාජයේ සීමිත පිරිසකට පමණක් හිමිවූ පරිගණක පහසුකම් අත්විඳිමින් සිටි අපද ( මෘදුකාංග නිර්මාණය ගැන ප්‍රමාණාත්මක දැනුමක නොසිටියද) ඒ නිසා නිරන්තරව මේ ගැටළුවේ දිග පළල සාකච්ඡා කරන කතා සාප්පුවක සාමාජිකයින් වි සිටියෙමු.  

මෙම භිතියේ පදනම වූවේ 1999 දෙසැම්බර් 31දා පස්වරු 11:59:59 න්පසු එළැඹෙන 2000.01.01දා 00:00:00 මොහොත සියලු පරිගණක පද්ධති සහ අන්තර්ජාල පද්ධති විසින් 1900.01.01 දා 00:00:00 මොහොත ලෙස හඳුනාගෙන සිය මෙහෙයුම් ජංජාලයක් බවට පත්කර ගනු ඇතැයි පැවැති විශ්වාසයයි.එය ලෝකයා විසින් පොදුවේ Millenium(Y2K) Bug ලෙස හැඳින්විණි. පරිගණක තාක්ෂණය අතැඹුලක් වන අද වන විට නම් අනියත බියකි. ඒ වන විට  පරිගණකය බිහිවී වසර හතළිහක්ද සහ අන්තර්ජාලය බිහිවී  වසර පහලොවක්ද පමණ ගෙවී ගොස් තිබූ නිසා සියවස් මාරුවක අත්දැකීම් ලබන්නට නොහැකි වීම මත, ඒ බිය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් සහ දැනුමැත්තැන් නොවූ සමස්ථ ලෝක වාසීන්ගේ සාධාරණ භීතියක් ලෙස අද දවස වන විට හඳුනාගන්නට අපට හැකියාව ඇත. 

කෙසේ වුවද අවසානයේ කිසිදු අතුරු අන්තරාවකින් තොරව සහස්‍රය ලංකාවට උදාවූයේ ඒ වන විට ජනප්‍රිය වූ භාතිය සන්තුෂ්ලාගේ "මිලේනියම්" ගීතයේ පසුබිම් වාදනය අතරතුරය. කොකාකෝලා පැණි බීමේ සිට මෙන්ඩිස් අරක්කු දක්වාමත්,  කිරි ටොපියේ සිට මැක්ඩොනල්ඩ්ස් රයිස් එක දක්වාමත්, ට්‍රයම්ෆ් යට ඇඳුමේ සිට හමීඩියාස් ෂර්ට් එක දක්වාමත් වෙළෙන්දෝ සහස්‍රයේ ජය ගී ගයා වාසිය තමන්ට උකහා ගනිද්දී, සහස්‍රයේ භිතිය ගැන පිටු ගණන් ලිපි ලියූ පත්තරද, පැය ගණන් කතිකාවත් විකාශය කළ  නාළිකාද වගේ වගක් නැතිව ඔවුන් හා එක්වී මඩිය තරකර ගත්හ.

මේ පෙරවදන ලියන්නට ප්‍රස්තූතය වූයේ 2017 දෙසැම්බර් 31 දා ගැන මෙරට දේශපාලන ලෝකයේ පවතින "දෙගිඩියාව" ගැන කොරහේ කිඹූලන් දකින "පුවත් තවාන්" මාධ්‍යයන් විසින් නිර්මාණය කරන ප්‍රවෘත්ති අසමින් දකිමින් සිටින විටදීය... 2015 පැවැති මහමැතිවරණයේදී බහුතරය ලැබුණද විපක්ෂයද එක් කරගත් "ජාතික ආණ්ඩුවකට" යන බව කීවේ එජාපයේ නායකයින් සහ අපේක්ෂකයින් මිසෙක නිර්පාක්ෂික අපේක්ෂකයෙකුව සිටිමින් 2015 ජනවාරි 08 "ජනාධිපතිවරණයට" ඉදිරිපත්ව දෙසතියකින් නිර්පාක්ෂිකත්වයට පස්ස පෙන්වා ශ්‍රීලනිපයට යළි රිංගූ ජනාධිපතිවරයා ප්‍රමුඛ මහින්දගේ නිල නොලත් නායකත්වය අපේක්ෂා කරන ශ්‍රීලනිපය නොවේ.


 වසර ගණනකට එපිට 1987-88දී පවා වටමේස සාකච්ඡා පවත්වමින් මෙරට ජාතික ගැටළුවේ සිට අට අනූවක් රෝග සහ ව්‍යාධි වෙනුවෙන් පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරන්නට නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍යයැයි කියු පැවිද්දෝද, සිවිල් සමාජ ක්‍රියාකාරීහුද, විද්වත්තුද, දේශපාලන නායකයෝද ඇතුළු බොහෝමයක් මාධ්‍යය වීරයින් 2015 ජාතික ආණ්ඩු සංකල්පයට අද දක්වාම ආශිර්වාද නොකරන්නේ එයට සිය පරම සතුරා වූ  "එජාපය" මුල පිරූ නිසා මිසෙක වෙනත් හේතුවක් නිසා නොවේ. සිය සැබෑ අරමුණ පෙර සඳහන් කළ මෙරට ජාතික ගැටළුවේ සිට අට අනූවක් රෝග සහ ව්‍යාධි වෙනුවෙන් පැහැදිලි විසඳුම් ලබාගැනිම නම් ඔවුන් කළ යුතුව තිබුණේ ආකෘතිකමය අඩුපාඩු සහිතව වුවද බිහිවූ ජාතික ආණ්ඩුව නිවැරදි දිශාව වෙනුවන් මෙහෙයවීම සඳහා වැදගත් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමයි.එය අද දක්වාම සිදුව නැති අතර මේ අවස්ථාව අනඟි අවස්ථාවක් කර නොගෙන, ආණ්ඩු විරෝධීන් හා එක්ව  ඔවුන් එයට අකුල් හෙලමින් සිටී... 

2015 ජනවාරියේ අර්ධ වශයෙනුත්, 2015 අගෝස්තුවේදී පූර්ණ වශයෙනුත් එජාපය ප්‍රමුඛ ජාතික රජය විසින් භාරගත් බුන්වත් රටෙහි සැබෑ ආර්ථික යථාර්තය තේරුම් ගන්නට "ඔවුන්ට" තවත් අවුරුද්දක් පමණ ගතවිය. ඒ අතරතුර කාළය තුළ වසර දොළහක් - දහතුනක් පුරා විපක්ෂයේ කටු ලෙවකෑ නව රජයෙන් වරප්‍රසාද ලත් එජාප ක්‍රියාකාරීහු ගිලෙන නැවෙන්ම තම සාක්කු පුරවා ගැනීමට කටයුතු කළහ. එය සිදුවූ අපේක්ෂාභංගත්වයෙන් කොන්ද කැඩුණූ විරුද්ධවාදීන්ට බලය, ජවය සහ ශක්තිය ලබාදුන් මහොෂධයක් වූ අතර ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිපයේ මහින්දවාදී කල්ලියට ආශිර්වාදයක්ද විය... 

2015 ජාතික ආණ්ඩුවට ආරම්භයේදීම ශ්‍රීලනිපය එක්වූයේ කැමැත්තකින් නොවේ. සිය නාමික නායකයා වූ මෛත්‍රීගේ හිත සතුටු කරමින් මහින්ද සමඟ රාත්‍රි භෝජන සංග්‍රහ භුක්ති විඳින මේ නිදහස් පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් නිතර නිතර සිහිනෙන් දකින්නේ මහින්ද ගේ දෑත් ශක්තිමත් කර රනිල් සහ මෛත්‍රී බල රහිත පඹයින් කරවන හෙට දවසකි.ඇත්ත වශයෙන්ම  2014 නොවැම්බර් සිට අද දක්වාම එක හිතින් මෙත්‍රී -රනිල් සමඟ  සිටිමින් 'යහපාලනය" වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපතිවරණයට පෙර මෛත්‍රීට එක්වූ , මහින්දගේ පළා බෙදීමට හසුවූ ශ්‍රීලනිප නියෝජිතයින් පමණි. ඒ නිසාම රජය සමඟ සිටින අනෙක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියළු දෙනාම උත්සහ දරන්නේ විපක්ෂයට ගියහොත් අහිමි වන පුද්ගලික සැප සම්පත් අහිමි කර නොගනිමින් - ආණ්ඩුවේ වැරදි එජාපයට සහ එහි නායකත්වයට පවරමින් හොඳ දේ පමණක් ඔවුන්ගේ මැදිහත්වීම නිසා සිදුවූ දේ බව පෙන්වමින් "අඟේ ඉඳන් කණ සපාකන" භුමිකාවක නියැලීමටය. 



තමන්ද දායකත්වය දැරූ රජයකදී ගත් සයිටම්/ උමාඔය/ යුධඅධිකරණ තීරණ කළමණාකරණය කිරීමේදී රජය පත්වන අපහසුතාවයේදී කෙළ බිඳකුදු නොහෙළමින් හොර නින්දේ පසුවන ඔවුන් - කළල ගිලිණු මත වරනිඳු ගොඩගන්නට සැලසුම් සහගත තිත්ත බේත් යෝජනා ගෙනෙන විට මාධ්‍ය  වීරයින් සේ නැඟිට ඒකාබද්ධ විපක්ෂයේ  මහින්ද, දිනේෂ්ට, බන්දුලට හතරේ හයේ ඒවා ගහන්නට අවස්ථාව සළසා දේ... කැබිනට් සාමුහිකත්වය ගැන අබමල් රේණුවක්වත් නොසිතමින් ඊළඟ මොහොතේ රහස් තීරණ කෙටුම්පත්වන්නට පෙරම හත්ගුණයකින් වැඩි කර මාධ්‍ය වෙත ලබාදී වීරයින් වෙති. සත්‍ය වශයෙන්ම ඔවුන් තමන් නියෝජනය කරන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියාවත් අවබෝධයෙන් නොසිටිති.

මේ නිසාම තරවටුවක් කළ වහාම අඬන දොඩන පුංචි ළමයින් "මම අම්මාට ආදරේ නෑ" කියන්නා මෙන් මේ මන්ත්‍රීවරුද හැම විටම උත්සහ දරන්නේ "අපි ආණ්ඩුවෙන් යනවා" කියා තග දමා ආණ්ඩුවේම රැඳී සිටින්නටය. දැන් ඔවුන්ට ඒ වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් තිබේ. සයිටම්, උමාඔය ආදී ගැටළු විසඳී නැතත් යම් මට්ටමකට ඒවා කළමණාකරණය කරගෙන රජය සන්සුන් වූ ‍ මේ මොහොතේ මුහුදට හත් ගව්වක් තියා "ජාතික රජයෙන්' ඉවත්වන බව කියා දහ අට පාලි නටන්නේ පුවත් මවන මාධ්‍ය ආයතන වලට "හිට් නිව්ස්' හිඟ වූ නිසාවෙනි. 


රටට හිතැති හෙට දවසක් වෙනුවෙන් "ජාතික ආණ්ඩුව"ක් පැවැතීම හොඳ වුවද  එක්ව රැස් නොවී ජනපති මූලිකත්වයෙන් එක් කොටසකුත්, අගමැති මූලිකත්වයෙන් එක් කොටසකුත් රැස්වී තීරණ ගෙන ඉදිරියට යන්නට තතනන බානක බැඳි එළ හරකෙකු සහ මී හරකෙකු ලෙස දෙපැත්තට ඇදෙන ජාතික ආණ්ඩුවකින් රටට පලක් නැත. තවම කෙටුම්පතවත් සකස් වී නොමැති "ව්‍යවස්ථාව"ද පෙනෙන මානයක එළි නොබසින නිසා 2/3ක මන්ත්‍රී බහුතරයක් මේ මොහොතේ රටට අවශ්‍ය නැත. ඒ නිසා ආන්ඩුවේ හිස මත ඇති අහක යන "කටු ඔටුන්නක්" වන් මහින්ද ගේ සට්ටැඹියන් ටිකට යනවා නම් යන්නට ඉඩදී සරල බහුතරයකින් 2020 දක්වා රජය කරගෙන යන්නට හැකියාව මෛත්‍රී-රනිල් ප්‍රමුඛ රජයට ඇත. ඒ යහපාලනය විසින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණයෙන් වසර 4 1/2ක් දක්වා බාධාවකින් තොරව  රජය පවත්වගෙන යන්නට සරල බහුතරයකට හැකියාව ඇති නිසාය. 

එහෙත් 2020 මැතිවරණයෙන් යළි දිනන්නට හිතෙනවානම් මෛත්‍රි සහ රනිල් ගත යුතු පියවර ගනනාවකි. මට පෙනෙන පරිදි නම් ඒවායින් කිහිපයක් මෙසේය... 

*- මෛත්‍රී එක්කෝ ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත්ව ස්වාධින විය යුතුය. එසේ නොමැතිව ශ්‍රීලනිප නායකත්වයේ ඉන්නවා නම් ඊළඟ මැතිවරණයෙන් පැරදෙන්නට හෝ සිතා පක්ෂයේ විනය/ සාමාජික හැසිරීම් ගැන දැඩි තින්දු ගත යුතුය.

*- මෛත්‍රී- රනිල් ආණ්ඩුව 2015දී රටේ සැබෑ තත්වය හෙළි කර ඉන් මිදෙන මඟ සහිත ඉදිරි වසර දහයක වැඩපිළිවෙල විශ්වාසනීයව/ සැමට තේරෙන භාෂා ශෛලියකින් ජනගත කළ යුතුය. 

*- ඒ වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ රූපවාහිනි නාළිකා, ගුවන් විදුලි නාළිකා වල සහ සාධනියව ඉඩකඩ ලබාදෙන පුද්ගලික නාළිකා වල හරවත් සංවාදයන් මතුකළ යුතුය.  

*- නිසි පදනමක්/ පිළිගත හැකි සාක්ෂ්‍ය වලින් තොරව රජයේ සංවර්ධන ක්‍රියාදාමය/ ජාතික ආරක්ෂාව සඳහා වන වැඩ පිළිවෙල ගැන මිත්‍යා අදහස් ජනගත කරන සියළු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි නීති ප්‍රතිපාදන ගෙන ආ යුතුය... ( අද දවසේ රජයට වැඩිම කාළයක් වැයවන්නේ මේ හරසුන්/සාක්ෂ්‍ය රහිත චෝදනාවන්ට පිළිතුරු දෙමින් ගතකරන්නටය) 

*- පොරොන්දු වූ පරිදි  පසුගිය රජයේ දූෂිතයින්ට/ අපරාධකරුවන්ට /චූදිතයින්ට ගැලවී යාමට අවස්ථාව අහිමි කර,  ඔවුන්  වැරදිකරුවන් බවට පත්කරවන කඩිනම්/ශක්තිමත් අධිකරණ ක්‍රියාවලියක් හඳුන්වා දීම - එහිම දිගුවක් ලෙස වත්මන් රජයේ  දූෂිතයින්ට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් කිරීම

*- බැසිල් වෙනුවට මලික් ප්‍රතිපත්තිය බැහැර කර ආණ්ඩුවේ මන්ත්‍රින්ට, විශේෂයෙන් එජාප මන්ත්‍රීන්ට සාධාරණ පිළිගැනීමක් නායකත්වයෙන් ලබාදීම

එහෙත් 2020 දක්වා රට කරන්නට පමණක් රනිල්-මෛත්‍රී සිතන්නේ නම් මේ කිසිත් අවශ්‍ය නැත. ඒ නිසා ආණ්ඩුව බය කරන ශ්‍රීලනිප අවස්ථාවාදින්ට යනවා නම් යන්නට කියා වැඩ කරගෙන යන්නට හැකියාව රජයට ඇත. වසර හැට හැත්තෑවක ලාංකීය දේශපාලන අතීතය ගැන සළකා බැලූ විට සහතික කර ඉන්තේරුවෙන්ම එකක් කිව හැක. මෛත්‍රී- රනිල් ප්‍රමුඛ රජය යන්නට උත්සහ දරණ මන්ත්‍රීන් පිටුපස දණින් නොවැටී සිටින්නේ නම් ඔවුන් කිසිදිනෙක පොරවල් වන්නේ නැත. අවසාන මොහොතේ වරප්‍රසාද අහිමි වනවාට එරෙහිව නැඟෙන  ගෙදර ගෑණිගේ තරවටුවට අවනතව ඔවුන් 2017 දෙසැම්බර් 31දාගෙන් පසුවද  ආන්ඩුව තුළම හිඳිනු ඇත. 

මහින්දවාදී බොහෝ දෙනා පිළිනොගත්තද 2015දී  පුරපස සඳ සේ පෙනුනු "ඒකාබද්ධය" දැන් අව අටවක මෙන් වක ගැසී ඇත. එබැවින් 2018 ජනවාරි වන විට නව දැක්මක් මතු නොවන්නේනම් මඳින් මඳ ජවය ගිළිහෙන මහින්ද පිළද අදට වඩා බොහෝ දුර්වලව සිටිනු ඇත. එකින් එක මුරගල් ගැලවෙමින් යන ඒකාබද්ධයට 2017 දෙසැම්බරයේදී විමල් සහ වාසුද ඉතිරිවනු ඇතැයි සහතික කළ නොහැකිය. 

ඒ නිසා එදා 1999දි "සහස්‍රය'ට බිය වුණා සේ අද දවසේ 2017 දෙසැම්බර් 31දා ගැන අහේතුකව බියවන්නට කිසිදු යහපාලන වාදියෙකු කළබල විය යුතු නැත. ගමනේ දිශාව නිවැරදි වුවද වේගය අඩාල නිසා "යහපාලනවාදීන්" බියවිය යුත්තේ 2020න් එහා යන ගමනක් ගැනය...

මෛත්‍රී-රනිල් යුගළය නිසි තැන හිඳ නිසි තීරණ නිසි මොහොතේ ගන්නේ නම් 2020 ගැනද බියක් නැත.  එය එසේ වන්නේ නම්  "වොයිස් කට්' "හිට් නිව්ස්" වෙනුවෙන්  ඕපාදූප  පතුරුවන බහුතර ජනමාධ්‍ය  2000 ජනවාරි 01දා තම අතපසුවීම් ගැන සමාව භජනය නොකොට , සියල්ල අමතක කර නින්දෙන් නැඟිට්ටා සේ  ලැජ්ජාව අමතක කොට එදාටද මෛත්‍රී-රනිල් වන්දිභට්ටයින් වනු ඇත.

 Email: outofboxsrilanka@gmail.com

Comments