සැන්ටා ක්ලෝස් - වෙස්





නිමිත්ත - කොල්ලුපිටියේ මුහුදුබඩ දුම්රිය පාර අද්දර ගල් පරයක දුටු 'සැන්ටා' ඇදුමක්


හීන සිල්ලරට විකුණන
පුරවර සල්පිලක සිරිබර
සැන්ටා කෙනෙක් විලසට
රඟමි තෙක් වසර අවසන


සහතික සම්මාන නැතිවට
ටැලන්ට් එක ඕන හරියට
අළුයම සිට ගෙවෙන දවසම
තුටු පහටු කරමි දන දන


පිනි මුවන් බැඳුනු හිම රථ
පිරවූ තිලිණ නැතිවට
දෙමි බෙදා සතහට
වට්ටම් වවුචර්ද තොගපිට


දාහය දරණු නොහැකී
දරුණු ඉර මල නොයයි වියැකී
සැටින් පිළි සැරසී
නටමි දඟලමි සැලෙමි කැරකී


ආටෝප සිරිය දකිමින්
මුවින් නොබැනම විඳිමින්
සුසුම් නොහෙලා හඬමින්
හිඳිමි රුපියල් නෙලමින්


අසම සයුරට සමවත්
තරම් නෙක නෙක පොහොසත්
දනන් මැද සරුවත්
මළ ගඟක් වෙමි පතුළ දැකගත්


සුතඹුව දරුන් වටකොට
සිනා මුව සමඟ මුසුකොට
බත ලුණෙන් රසකොට
විඳුම වෙයි මට සතුට අපමණ


දවසේ වෙහෙස අවසන
ලෙහා සළු පිලි අබරණ
තෙමා සැනහී සයුරෙන
ඇදෙමි නිවෙසට සැබෑ වෙස් ගෙන




Email: outofboxsrilanka@gmail.com

Comments