Akon - ඒ කොනෙන් - මේ කොනෙන් නොව බෙල්ලෙන්ම

Akon පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාව විය. අවසානයේ ඔහුගේ වීසා වාරණයට රජය ගත් තීරණයත් සමගම ඇතිවී තිබූ උණුසුම් තත්වය සමනය විය. ඒ අනුව එතෙක් Akon ගේ පැමිණීමට විරැද්ධ වූ මෙරට බෞද්ධ සංවිධාන ඇතුලු බොහෝ පිරිස් නිහඩ වූහ. ප්‍රදීප් එක්නැලිගොඩගෙන්, සරත් ෆොන්සේකාටත්, අනතුරැව කලුගගට විසිකළ දරැවාටත් අවසානයේ Akonටත් මාරැවූ ජනමාධ්‍ය සිරස්තල දැන් තවත් අලුත් දෙයක් (මැතිවරණ ප්‍රතිපලය)සොයමින් සිටී. ජනතාවද සිරස්තල මැවූ සිද්ධින් අමතක කොට දමා තවත් අලුත් සිරස්තල සොයමින් සිටින්නේ බස්එකේ,දුම්රියේ, වැඩපොලේ, කඩපිලේ , නානතොටේ රසකරමින් තලුමරා වාද විවාද කරන්නට බලාපොරොත්තුවෙනි. සෙලවූ අලුත පමණක් රැස් දමමින් යකා නටන, සුලු වේලාවකින් තිබුණාටත් වඩා හොදට නිසල වෙන "සෝඩා බෝතලයකට" සිංහල ජාතිය උපමා කරමින් එල්.ටී.ටී.යේ හිටපු නායක ප්‍රභාකරන් පවා වරෙක අදහස් දක්වා තිබුණේ අපගේ මේ දුර්වල තාවය තිස් වසරක් අපට එරෙහිව සාර්ථක යුද්ධයක යෙදුණු ඔහු හොදාකාරවම දැන සිටි නිසාය.



Akonගේ පැමිණීම අවලංගු වූවාට පසු බුද්ධාගමට හා එහි පැවැත්මට තිබූ අවසන් තර්ජනයත් නැතිවී ගියා යැයි සිතා දැන් බොහෝ දෙනා සැනසුම් සුසුම් හෙළති. පොහොයකටවත් පන්සල් නොයන, පන්සිල් පද පහවත් පිලිවෙලකට කියාගත නොහැකි, හිගන්නෙකුට සත පණහක් දෙන්නට තරම්වත් දැහිමි සිතක් පහළ නොවෙන නමුත් බෞද්ධ පවුලක උපත ලැබූ නිසාම නමින් බෞද්ධ වුණු බොහෝ දෙනෙකු Akon මෙහි පැමිණ පවත්වන්නට යන ප්‍රසංගයට ‍විරැද්ධ වූයේ එසේ විරැද්ධ වන්නේ ඇයිද යන කරැණවත් නොදැනය.එදා 2005 වසෙර් පැවැති මැතිවරණයේදී දී "අපවත් වූ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණය" අභිරහසක් යැයි කියමින් ඒ ගැන අගමුල සොයා ගන්නට අපට ඡන්දය පූජා කරන්නයැයි අපේ ආච්චිලා ගොනාට අන්දවා ආසන 10ක් දිනා ගත් හෙළ උරැමයට මෙවර මැතිවරණයේදී තමන් බුද්ධාගම වෙනුවෙන් කළේ මේ මේ දේවල් යැයි කියන්නට යමක් තිබුණේ නැත. අඩුම තරමේ ඒ දවස්වල "බෞද්ධයන්ගේ අන්‍යාගම්කරණයට" විරැද්ධව හඩ නැගූ ඔවුනට පසුගිය වසර පහ පුරාවටම එය වැළැක්වීමේ පනතවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගත නොහැකි වූයේ පෝයට බණ අහන, මල්වතු අස්ගිරි මහනාහිමිවරැන්ගෙන් "රෝහණ ජනරංජන" නම්බු නාම ලබාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේම කොටස්කරැවන් වී සිටියදීමය.

එදා තමන් වෙත තිබූ ජනරැල්ල මෙවර නොමැති බව හොදාකාරවම දන්නා හෙළ උරැමයට යම් ප්‍රමාණයක හෝ ජනාකර්ශණයක් ලබාගන්නට වුවමනාවක් තිබිණි.යල්පැන ගිය උපක්‍රම වූ පෝස්ටර්-කටවුට් භාවිතා නොකිරීම, මනාප පොරයෙන් තොරවීම, පාපැදි සංදර්ශන පැවැත්වීම වෙනුවට සිංහල බෞද්ධ හැගීම් මතුකිරීම වඩාත් සාර්ථක බව දන්නා ඔවුන් සොය සොයා හිටියේ කටගැස්මට ගැනීමට යමකි. සංචාරක අමාත්‍යාංශයේ අනුමැතියෙන් දේශීයව ක්‍රියාත්මක සමාගම් ගණනාවක අනුග්‍රහයෙන් මෙරට ප්‍රසංගයක් පැවැත්වීමට සිටි Akonගේ සිය ගණනක් වූ ගීත වීඩියෝ අතරින් එක් ගීතයක තත්පර ගණනක දර්ශනයක් හෙළ උරැමයේ වලිග කෑල්ලක් වූ "ජාතික සංඝ සම්මේලනයට" හොද බයිට් එකක් වූයේ ඒ අනුවය. අනෙක් අතින් එයින් ප්‍රධාන පහරක් වදින්නේ තමන්ගේ පක්ෂයෙන් කොළඹින් තරග වදින අපේක්ෂකයාට එරෙහිව වැඩිම මනාප ගණනක් ගැනීමට නියමිත අපේක්ෂකයාගේ පක්ෂයට සංචාරක අමාත්‍යාංශය අයත් වී තිබීමයි.එයින් හෙළිවූ කරැණු අනුව යමින් තමන්ට රෑපවාහිනී සංස්ථාවෙන් එල්ල වූ ප්‍රහාරය අගලක් නෑර පෙන්වූ නිසාම කවදත් සිරසට එරෙහිව කටයුතු කළ "කැළණියේ දුටුගැමුණු" ද බේබෲක් පෙදෙසට පැමිණ පොඩි කලබලයක් කලේ එය තමන්ටද දේශපාලන ආයෝජනයක් කර ගනිමිනි.


මෙරට ජනයාගෙන් 70%ක් බෞද්ධයින් වන බැවින් මෙය බෞද්ධ රටකි.ජනමාධ්‍යයෙන් උදේ සවස පැය ගණනාවක් ධර්ම දේශණා පිරිත් ප්‍රචාරය වන බැවින් මෙය බෞද්ධ රටකි.එහෙත් මේ බෞද්ධ රටේ බෞද්ධ ඔලු ගෙඩි ගණන ප්‍රයෝගික බෞද්ධයින් කිරීමට බුද්ධාගමේ පොල්මඃකරැවන් හැටියට පෙනී සිටින මහනායක හිමිවරැන්ගේ සිට අර නායක මේ නායක හිමිවරැන් සාධනීය යමක් කරනවාද? 1948 ලැබුණු නිදහසින් පසුව 1956 දක්වාම දේශපාලකයින්ට ඉහළින් සිට මගපෙන්වීමේ යෙදුණු භික්ෂූන් වහන්සේලා බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගයේ සුළගට හසුවූ මොහොතේ සිට 2005 හෙළ උරැමය බිහිවන තැන දක්වාම පියවරෙන් පියවර දේශපාලනයට අනුව බෙදී යාම නිසාම උන්වහන්සේලාට හිමි ගරැත්වය අහිමි කර ගත්හ.එතෙක් කලක් කුලවාදයෙන් පමණක් යම් දුරකට බෙදී තිබුණද ගමේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට පන්සලට ගොඩවී තමන්ගේ ප්‍රශ්ණ ගැටලු වලට නිසි විසදුම් මග පෙන්වීම් ලබාදුන් ගමේ පන්සල වෙනුවට අද බොහෝ ගම්වල ඇත්තේ යූඇන්පීයේ, හෙළ උරැමයේ හෝ ශ්‍රීලංකා එකේ පන්සල්ය.



බොහෝ සමාජ, ආර්ථික විපර්යාස හමුවේ සංඝ සමාජයද උඩු යටිකුරැ වී ඇත. එසේ වුවද සිය දායකයන් වෙනුවෙන් හුදකලාව කැපවෙන ඔවුන්ගේ ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් ආමිස ප්‍රතිපත්ති පූජා සංවිධානය කරමින් වෙහෙසෙන බොහෝ සංඝයා වහන්සේලා අද දවසේ සිටියද රාජ්‍ය අනුග්‍රහය, තාන්ත මාන්න, පමණක් නොව ගුවන් විදුලි ධර්ම දේශණා කෝටාවද ලැබෙන්නේ තෝරාගත් පිරිසකට පමණි.එසේ වරදාන වරප්‍රසාද ලබාගන්නට නම් ප්‍රමුඛතාවය දිය යුත්තේ දායකයාගේ මරණ ගෙයට බණ ගෙයට වඩා දේශපාලකයාගේ උවමනා එපාකම් ඉටුකිරීමට බව නොපෙනෙන ලෝකෝත්තර සුවයට වඩා පෙනෙන ලෞකික සුවයට හිත කැමති බොහෝ භික්ෂූන්ගේ පිළිවෙතයි.සිවුරක් දරා ගත් පමණින් තමන් අනෙකාට වඩා උසස් යැයිද, අවශේෂ පිරිස් තමන්ගේ මතය අනුමත කළ යුතු යැයි ද සිතන අවිචාරවත් භික්ෂූන්ගේ යුගයක් අද එළැඹී ඇත. දාන සීට්ටූවට ඇතුළත් විය යුතු ව්‍යංජන වට්ටෝරැ‍ව නියම කිරීමේ තැන සිට දායිකාවන් හා නිදි වැදීමේ තැන දක්වා අකැප යැයි බුදුන් වහන්සේ විසින් වදාළ සියලුම දේ අඩු වැඩි වශයෙන් සිදු කරමින් සමාජය තුළ භික්ෂුවගේ ගරැත්වය සුනු විසුණු කරන උන්වහන්සේලා Akon ගේ ගීතයක තත්පර ගණනක නිරැවත් කාන්තා දර්ශනයකට විරැද්ධ වෙති. බුදුන් දවස බුදුන්ට ගල් පෙරලූ අජාසත්තව, තමන් වහන්සේව මරන්නට පැමිණි අංගුලිමාලව, අපහාස කළ චිංචි මානවිකාව ව උන්වහන්සේ නිසි මගට ගත්තේ පලවා හැරීමෙන් මතු නොව කැදවා නිසි කරැණු වටහා දී සාකච්ඡාවෙන් හා සංවාදයෙනි.අද දවසේ Akonලාට එසේ කරන්නට තරම් පෞරැෂයක් අපේ උන්නාන්සේලාට නැත.සංදර්ශණයට පැමිණෙන Akon ව අපේ රැවන්වැලි සෑයට, ජය සිරි මහා බෝධියට කැදවා ගෙන ගොස් ( වැරදිලාවත් සීගිරියට එහෙම ගෙන නොයා යුතුය) වසර දෙදහස් ගණනක උරැමය කතෝලික ජැක්සන් ඇන්තනී ලවා වත් Akonට පැහැදිලි කර දෙන්නට නිර්මාණශීලී මොළයක් විරැද්ධවාදීනට නැත්තේ ඇයි? එහෙම කළා නම් Akonගේ ඊළග ගීතය මෙරට සංස්කෘතිය ගැන මෙරට දර්ශන පසුබිම් කරගෙන තැනෙන්නක් වීමටද ඉඩකඩ බොහෝය.

"බුදු සසුන බැබලේවා" යැයි පතමින් අතපය හකුළාගෙන හිටියාට බුද්ධාගමේ චිරස්තිථිය රැකෙන්නේ නැත.බුදු දහමේ දියුණුවට කටයුතු කළ යුත්තේ මා නොවේ අනෙකායැයි තවත් කෙනෙකුට වගකීම පවරමින් කට බලියන් හිටියාටද සෙතක් නොවේ.කතෝලික මූලධර්ම වාදයට, මුස්ලිම් අන්තවාදයට බැණවදිමින් දෙස් දෙවොල් තැබුවාට වැඩක් නැත. බෞද්ධයාට පන්සල සමග ඇති බැදියාව වැඩිකරමින් පන්සල තමාගේ ළගම නෑසියෙකු බවට පත්කරගන්නා වැඩපිළීවෙලක් පන්සලෙන්ම ඇරඹිය යුතුය. බෞද්ධයා ගේ දුක සැප බෙදා හදාගන්නා මධ්‍යස්ථානයක් බවට පන්සල පත් විය යුතුය. අසරණ බෞද්ධ පවුල් නගා සිටුවීමට විධිමත් යාන්ත්‍රණයක් ඇතිකළ යුතුය.කලුතර බෝධියේ පිංකැටයට, රැවන්වැලි සෑයේ, දළදා මාලිගාවේ පිංකැටයට වැටෙන මුදල් එවන් අසරණ බෞද්ධ පවුල් නගා සිටුවීමට යොදාගත යුතුය. එසේම නිසි දානමානාදිය නොලැබෙන, පොහොර උර වලින් වට කරගත් ආවාස ගෙවල් වල වැඩහිදිනා, සිවුරැ අටපිරිකර නොලැබෙන දුෂ්කර ජීවිත ගෙවන භික්ෂූන් වහන්සේලාවද රැකගත යුතුය.වැඩපිළිවෙලවල් සකස්විය යුත්තේ මෙවැනි ප්‍රමුඛතා සදහාය. එසේ නොමැතිව ඡන්ද සමයක තමාගේ වාසියට බෞද්ධයාගේ බෞද්ධකම මුවහමට ගන්නට බෞද්දයන්ගේ මුර බල්ලන් ලෙස පෙනී සිටින්නන්ට ඉඩකඩ ලබා නොදීමට වගබලා ගත යුතුය.

බෞද්ධයන් ලෙස අප පෙනී සිටිය යුත්තේ බුද්ධා‍ගමේ උන්නතිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහිය. එසේ නොමැතිව බුද්ධා‍ගමේ උන්නතිය වසර පහෙන් පහට කරලියට ගෙන එමින් ඡන්දය ගරා ගන්නා "අසපු" වාසී බෞද්ධ චීවරධාරීන්ගේ සම්ප්‍රප්පලාප වෙනුවෙන් නොවේ.මේ එයට හොදම වෙලාවයි.

Comments

  1. මට පුලුවන්නම් කලුතර බෝධියේ පින් කැටේ පිටින් ගෙනත් කටේ ඔබනව මසුරන් නැති නිසා. නියමයි. උපරිමයි. අති විශිෂ්ඨයි.

    ReplyDelete
  2. ඔබ කියපු හැම කරුනක්ම ඕනෙම මනුස්සයෙක්ට තේරෙනවා. අච්චිලා සීයලා ඇතුලුව, ඒ නිසා මම හිතන්නෙ නෑ, ඔය කරපු වැඩෙන් හෙල උරුමයට ඡන්ද වැඩි කරගන්න පුලුවන් කමක් තියෙනවා කියලා. මෙතනදි මූලික් කරුන වන්නෙ , ඔය සිද්දිය සම්බන්දයෙන් විරුද්දව කතා කරන ඕනෙම කෙනෙක් ජාති සහ ආගම් ද්‍රෝකියකු වශයෙන් හැඳින්වීමයි. මම දන්නෙ නෑ, අර මද්‍යසාර වල ඇල්කොහොල් ප්‍රමාණය අඩු කිරීමේ කතාව ඇත්තද කියලා, නමුත් ඔයවගේ දේවල් කිරීම හුදෙක්ම විහිලු කාරයින් විසින්වත් අනුමත නොකරන කඩ කාරයා පොහොසත් කිරීම කියා කිව හැකිය. කෙසේ හෝ Akon ගේ ප්‍රසංගය මාලදිවයිනේදී පැවැත්වීමට සංවිදානය කරන පුද්ගලයන් තීරනය කොට ඇත. ඊට ආසියාතික කලාපයේ සෑම රටකින්ම, සිංගප්පූරුව , මැලේසියා, ඉන්දුනීසියා, ඉන්දියා, වලින් මේ ප්‍රසංගය නැරඹීමට ඒමට නියමිතය. හෙල උරුමයේ නුවනක්කාර වැඩෙන් ලංකාවට ලැබුනේ මොනවද , නැතිවුනේ මොනවද ? -
    පිලිතුර ලාංකීය ඔබටම බාරයි !

    ReplyDelete
  3. ඔන්න ඔය වගේ හිතුවා නම් මේ රට කොච්චර හොදට ගෙන්න පුලුවන්ද?

    ReplyDelete

Post a Comment