පිටකොටු‍වේ අලු යට ගිනි

පිටකොටුව ප්‍රමුඛ තදාසන්න නගර වල පදික වෙළදුන්ගේ වෙළදාම් කටයුතු කළමණාකරණය අරභයා
ආණ්ඩුව වැඩ පටන්ගත්තේම වැරදි දෙයක් කිරීමෙන් බව මෙයට පෙර අවස්ථාවක ලියූ සටහනකින් අවධාරණය කෙරිණි. එදා ලිපියෙන් පෙන්වා දුන්නේ පිටකොටුව ප්‍රමුඛ ලංකාවේ ප්‍රධාන නගර වලින් පදික වේදිකා වෙළඳුන් හදීසියේ ඉවත් කිරීම සම්බන්ධවයි.එහිදී මා විසින් කියා සිටියේ ඔවුන්ව විකල්ප ස්ථාන වලට යොමුකිරීමෙන් අනතුරුව, පදික වේදිකා වෙළඳුන් ඉවත් කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතුව තිබූ කරුණක් බවයි.

එසේම මා විසින් යෝජනා කළේ වැරැද්ද පසුව හෝ නිවරැදි කරගනිමින් ඔවුන්ට සුදුසු
විකල්ප ස්ථාන වහා ලබාදෙන ලෙසයි. මුලින් තද ස්ථාවරයක සිටි රජයද, එසේ ඉවත් කළ ව්‍යාපාරිකයන් වෙනුවෙන් විකල්ප ස්ථාන ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේ සමාජයේ පහළ ස්ථර හා රැදෙමින් දේශපාලනයේ යෙදෙන රජයට සම්බන්ධ නාගරික හා පළාත් මන්ත්‍රීවරුන්ගේ හා රජයට සහාය දක්වන්නට කලක සිට ඉදිරිපත් වූ සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ බලපෑම නිසාය.ඉන් අනතුරුව අදාළ පුශ්ණය විසදීමට රජය වෙනුවෙන් ඉදිරිපත් වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.මාධ්‍ය හමුවේ වරින් වර පෙනී සිටිමින් ඔහු ප්‍රකාශ කළේ මාස කිහිපයක් තුළ සියලුම පදික වෙළදුන් වෙනුවෙන් ක්‍රමවත් වෙළද ස්ථාන නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර වෙළදාම සදහා
ඉඩකඩ සලසා දෙන බවයි.

පිටකොටුවේ කොටසින් කොටස ඉවත්කරමින් ගිය පදික වෙළදුන්ගේ සමස්ථ
සංඛ්‍යාව 2000ක් පමණ වෙයි.ඒ අනුව ඔවුන්ගෙන් යැපන්නන් ගණන 10,000ක් පමණ වෙයි.ඔවුන්ගෙන් බහුතරය පවතින රජයට සහයෝගය දක්වන වෘත්තීය සමිතියක සාමාජිකයෝය.පසුගිය දිනවල පිටකොටුව හා කොටුව ප්‍රදේශවල රජයට පක්ෂව පැවැති උද්ඝෝෂණ සදහා පිරිස් බලය සැපයුවේද එම සංගමයයි. එහි පළමු අනුශාසක වරයා වූයේ ජනාධිපති උපදේශක වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාය.පසුව යම් කලකට
එහි අනුශාසකත්වය විමල් වීරවංශ මහතා දැරූ අතර වර්තමානයේ දිනේෂ් ගුණවර්ධන මහතා එහි අනුශාසකත්වය දරයි. පසුගිය වසරේ මැතිවරණයට පෙර දිනේෂ් ගුණවර්ධන මහතා දැරූයේ මෙම පදික වෙළඳුන් කෙරෙහි සෘජුවම බලපාන නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයයි.මැතිවරණ සමයේදී අදාළ සංගමය පොදුවේ සහය දක්වා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට වුවද එහි සාමාජිකයෝ රජයේම විවිධ මන්ත්‍රීවරුන්ට සහයෝගී බව දක්වමින් කටයුතු කර ඇත.කෙසේ නමුත් රජයේ ඉහළම තැන්වල අපේක්ෂාව වී තිබුණේ මැතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම පදික වේදිකා වෙලඳාම අත්හිටුවීමයි.ඒ නිසාම කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව අදාළ කටයුත්ත හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මුඩුක්කු නිවාස ඉවත් කිරීමේ කාර්යය පහසු කරවීම පිණිස මැතිවරණයෙන් පසු නාගරික සංවර්ධන අධිකාරිය වහාම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.එයින් සතියක් ඉක්ම යන්නට කලියෙන් පිටකොටුවේ පදික වෙළඳාම අත්හිටුවන්නට බලධාරීන්ට හැකියාව ලැබිණි.අවශේෂ නගරවල පදික වේදිකා වෙළඳන් ඉවත් කළේ සංකේතයක් ලෙස මිසෙක එය දිගුකාලීනව එම නගර වලට බලපාන බවක් පෙනෙන්නට නැත. මේ වන විට ඒ බොහෝ නගර වල පදික වේදිකා යළිත් වෙළෙන්දන්ටම හිමි‍වෙමින්පවතින බව නොරහසක් නොවේ.

කෙසේ හෝ මේ වන විට පදික වෙළදුන් ඉවත් කර මාස දහයක් ගතවී ඇත.තවම පිටකොටුවේ වෙලදාමට ඉඩකඩ ලැබී ඇත්තේ 200ක පිරිසකට පමණි. පිටකොටුව බෝධිරාජ විහාරයට යාබදව ඉදිවූ වෙළද සංකීර්ණයේ අඩි 4 ක් දිග හා අඩි 4ක් පළල ඉඩ ප්‍රමාණයක් එක් අයෙකුට හිමිවන සේ නාගරික සංවර්ධන අධිකාරියෙන්
ලබාදී ඇත්තේ මුලින් සදහන් කල වෘත්තීය සමිතියේ සාමාජික වී සිටි වෙළෙන්දන් සදහා පමණි.එහෙත් ඒවා බහුතරයක් හිමිවී ඇත්තේ සැබෑවටම පදික වෙළදාමේ යෙදුණ පුද්ගලයන්ට නොවීම තවත් ගැටළුවකි. එසේ අයුතු ලෙස පදික ඉඩකඩ හිමිකර ගත් පිරිස් ඒවා සැබෑ පදික වෙළදුන්ට වෙළදාම සදහා ලබාදී ඇත්තේ දවසකට රුපියල් 500ක් හෝ ඊට වඩා වැඩි මුදලක් කුලී වශයෙන් අයකර ගනිමිනි. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය හිමිකරුගෙන් දිනපතා අයකරන රුපියල් 50ක මුදලද වෙළදාම කරන්නාටම දැරීමට සිදුවී ඇත.මේ තත්වය පිළිබදව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රහස්‍ය වාර්තාවක් පවා රජයට ඉදිරිපත් කර තිබුණද මෙතෙක් ගත් ක්‍රියා මාර්ගයක් නැත.

මේ ලියන මොහොත වන තුරුම පිටකොටුවේ පදික වෙළදාමෙන් ජීවත් වූ 1800කට අධික පිරිසකට සිය ජීවන මාර්ගය පවත්වා ගැනීම උදෙසා ස්ථානයක් ලැබී නැත. ඔවුන්ගේ යැපෙන්නන් සේවකයන් ආදී පිරිස් ගැන සලකා බැලූ කල අසරණ වූ පිරිස 10000කට ආසන්නය.මාධ්‍ය සංදර්ශණ පවත්වා විවෘත කළ දෙවන වෙළද සංකීර්ණයද මේ වන තුරු වෙළදාම සදහා ලබාදී නැත. සතියෙන් සතිය නැවුම් මාතෘකා සොයමින් ජනපති මැදුරේ තේ පැන් සාද වලට සහභාගී වෙමින් දවස ගෙවාගන්නා ජාතික ජනමාධ්‍යයන්ද මෙහි සත්‍ය ඇතළාන්තය ගවේශණයට සූදානම් නැත. පදික වේදිකා දෙපස වෙළද සැල් වලිට නීති පනවා ගෙනැවිත් තබා ඇති විසිතුරු පැළ පෝච්චි වලින් සරසා ඇති පිටකොටුවේ විථි වලට යටින් ඇවිලෙමින් පවතින දුක් ගින්දර නම් එසේමය.(මෙම ලිපියට අදාළ තොරතුරු මා හට
ලබාදුන් පිටකොටුවේ පදික වෙළඳුන් වන සම්පත් මහතාට හා ශ්‍රීධරන් මහතාට ස්තූතිය පුද කර සිටිමි.)
Email: outofboxsrilanka@gmail.com

Comments

  1. අන්තර්ජාල ලිපි කිහිපයකම එහි රචකයන් විසින් පදික වෙළඳුන් පිළිබඳව බොහෝ අනුකම්පා සහගතව කරුණු දක්වා ඇති බව දුටුවෙමි. එම බොහෝ කරුණු පිළිබඳව මාද එකඟ වන අතර නමුත් මටද කීමට කරුණු කිහිපයක් ඇත. මම විදුලි උපකරණ අලෙවි සලක් පවත්වාගෙන යමි. එය නගරයේ ප්‍රධාන වීදියක පිහිටා ඇත. එම වීදියම මද දුරක් ඉදිරියෙන් එක්තරා වෙළෙන්දෙකු වාහනයකින් විදුලි බල්බ ගෙනවිත් පාර අයිනේ ඒවා ගොඩ ගසා විකුණනු ලබයි. ඔහු අප මෙන් කිසිදු කඩ කුලියක් ගෙවන්නේ නැත ඔහුට විදුලි බිලක් ඉන්නේද නැත එසේම ප්‍රාදේශීය සභාවෙන් ඔහුගෙන් බදු ද අය නොකරයි. අපගෙන් නම් වසරක් පාසා ඇවිත් බදු එකතු කරයි. එම වෙළෙන්දා විදුලි බල්බ විශාල වශයෙන් ගොඩ ගසා විකුණනු දකින ජනතාව ඔහුගෙන් ඒවා මිලදී ගෙන යයි. සමහර කාල වලදී ඔහුගේ මිල ගණන් අපටද වඩා අධිකය නමුත් පාරිභෝගිකයා ඒ බව නොදනී . ඔහු සෑම සතියකටම වරක් පැමිණෙන අතර ඔහු පැමිණි දින සිට දින කිහිපයක් යනතුරු අපට කිසිදු ව්‍යාපාරික කටයුත්තක් නොලැබෙන තැනට වැඩ කටයුතු සිදුවෙමින් පවතී. මේ පිළිබඳ පැමිණිලි කළ විට එක් නිලධාරියෙක් ඒ ප්‍රදේශය තමන්ට අයිති නැති බව පවසන අතර ඔහුගෙන් විමසා එය භාරයයි කියන නිලධාරියාට කතා කළ විට ඔහුද පවසන්නේ එය ඔහුට අයිති නැති බවයි. ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දුන් විට ඔහු ඒ පිළිබඳ සොයා බලන්නම් යයි කීවද මෙම ගැටලුව අර ඉහත කී නිලධාරීන්ටම පවරා නිහඬ වෙයි. එම වෙළෙන්දා ව්‍යාපාරික කටයුතු සිදු කරන වේලාව අවසන් වන තෙක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් එකතුව බොහෝ බොරු කරුණු කියමින් කාලය ගත කරනු ලබයි. කරන ලද සොයා බැලීම් වැරදී දැනගන්නට ලැබුණේ ඔහු දුර ප්‍රදේශයක සිට මෙහි පැමිණෙන මුස්ලිම් ජාතිකයෙකු බවයි. කෙසේ හෝ ඔහුගේ වෙළඳාම ඔහු ඉතාම සාර්ථකව කරගෙන යයි. නිලධාරින්ද කෙසේ හෝ ඇඟ බේරා ගනියි. මා හටද මාගේ අලවිසල වසා දමා පාරේ වෙළඳාම් කිරීමට සිතක් පහළව ඇත. එවිට බදු ද නොමැත.

    ReplyDelete

Post a Comment