ආණ්ඩුව ආපසු හැරෙයි. පදික වෙළඳුන්ට රජයෙන් වෙළඳ කුටි ලැබෙයි.හැබැයි හැමෝටම නොවෙයි.


ආණ්ඩුව වැඩ පටන්ගත්තේම වැරදි දෙයක් කිරීමෙන් බව ලේඛකයාගේ අප්‍රියෙල් 26දා ලිපියෙන් (මෙතනින් යන්න)පෙන්වා දුන්නේ පිටකොටුව ප්‍රමුඛ ලංකාවේ ප්‍රධාන නගර වලින් පදික වේදිකා වෙළඳුන් හදීසියේ ඉවත් කිරීම සම්බන්ධවයි.එහිදී මා විසින් කියා සිටියේ ඔවුන්ව විකල්ප ස්ථාන වලට යොමුකිරීමෙන් අනතුරුව, පදික වේදිකා වෙළඳුන් ඉවත් කිරීම සැලසුම් සහගතව සිදු කළ යුතුව තිබූ කරුණක් බවයි.එසේම මා විසින් යෝජනා කළේ වැරැද්ද පසුව හෝ නිවරැදි කරගනිමින් ඔවුන්ට සුදුසු විකල්ප ස්ථාන ලබාදෙන ලෙසයි.දැන් කටයුතු කෙරීගෙන යන හැටියට පෙනී යන්නේ එය එසේම සිදුවන බවයි.ඒ කෙසේද යන්න මේ පිළිබඳ උනන්දුවෙන් සිටි ඔබ වෙත පහදා දීම හා එහිදී සිදුවන්නට යන යම් යම් අඩුපාඩු කම් පිළිබඳව අවධානය යොමු කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වේ.

පිටකොටුවේ කොටසින් කොටස ඉවත්කරමින් ගිය පදික වෙළදුන්ගේ සමස්ථ සංඛ්‍යාව 2000ක් පමණ වෙයි.ඔවුන්ගෙන් බහුතරය පවතින රජයට සහයෝගය දක්වන වෘත්තීය සමිතියක සාමාජිකයෝය.එහි පළමු අනුශාසක වරයා වූයේ ජනාධිපති උපදේශක වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාය.පසුව යම් කලකට එහි අනුශාසකත්වය විමල් වීරවංශ මහතා දැරූ අතර වර්තමානයේ දිනේෂ් ගුණවර්ධන මහතා එහි අනුශාසකත්වය දරයි. මැතිවරණයට පෙර දිනේෂ් ගුණවර්ධන මහතා දැරූයේ මෙම පදික වෙළඳුන් කෙරෙහි සෘජුවම බලපාන නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයයි.මැතිවරණ සමයේදී අදාළ සංගමය පොදුවේ සහය දක්වා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට වුවද එහි සාමාජිකයෝ රජයේම විවිධ මන්ත්‍රීවරුන්ට සහයෝගී බව දක්වමින් කටයුතු කර ඇත.කෙසේ නමුත් රජයේ ඉහළම තැන්වල අපේක්ෂාව වී තිබුණේ මැතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම පදික වේදිකා වෙලඳාම අත්හිටුවීමයි.ඒ නිසාම කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව අදාළ කටයුත්ත හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මුඩුක්කු නිවාස ඉවත් කිරීමේ කාර්යය පහසු කරවීම පිණිස මැතිවරණයෙන් පසු නාගරික සංවර්ධන අධිකාරිය වහාම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.එයින් සතියක් ඉක්ම යන්නට කලියෙන් පිටකොටුවේ පදික වෙළඳාම අත්හිටුවන්නට බලධාරීන්ට හැකියාව ලැබිණි.අවශේෂ නගරවල පදික වේදිකා වෙළඳන් ඉවත් කළේ සංකේතයක් ලෙස මිසෙක එය දිගුකාලීනව එම නගර වලට බලපාන බවක් පෙනෙන්නට නැත.

කෙසේ හෝ අවසානයේ අදාළ සංගමය ජනාධිපතිවරයා සමඟ කෙරුණු සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ පිටකොටුවේ ස්ථාන කිහිපයක රජය මඳින් ස්ථීර වෙළඳසැල් ඉදිකර අදාළ සංගමයේ සාමාජිකත්වය දරණ සාමාජික වෙළඳුන් වෙත ලබාදෙන්නටය.ඒවාට බොහෝ දුරට රජය මගින් මාසික කුලී මුදලක් අයකෙරෙණු ඇත.එසේම එම වෙළඳසැල් ඉදිවන්නට ගතවෙන සති දෙකක කාලය වෙනුවෙන් එක් වෙළෙන්දෙකුට රුපියල් දෙදහසක දීමනාවක් ගෙවන්නටද තීරණය වී ඇත.දැනට මෙම වෙළඳසැල් ඉදිකිරීම ආරම්භ වී තිබේ. ඒ පිටකොටුව බෝධිරාජ මාවතේ කොටසක් වසා දමා ලබාගන්නා ඉඩ කොටසේ හා පැරණි ගෑස් කර්මාන්ත ශාලා භූමිය ඉදිරිපිට ප්‍රදේශයත් යොදාගෙනය. මෙයට අමතරව අනාගතයේදී මල්වත්ත පාරට ආසන්න චාමර්ස් ධාන්‍යාගාර ඉ‍ඩමේත් ,ගුණසිංහපුර බස් නැවැතුම්පොළ අසල හිස් ඉඩමකත් මෙසේ රජය මඟින් වෙළඳසැල් ඉදිකර අදාළ සංගමයේ සාමාජික වෙළඳුන්ට භාරදෙනු ඇත.

තමන්ගේ දහඩිය මහන්සියෙන් හරි හම්බු කරගන්නා මේ මිනිසුන් වෙනුවෙන් මෙසේ යළි හැරීබැලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කිරීම පිළිබඳව ලේඛකයා සිය ප්‍රසාදය රජය වෙත නොපසුබටව පිරිනමයි. නමුත් මෙම ක්‍රියාවලිය හරහා සිදුනොවිය යුතු බොහෝ දේද සිදුවෙමින් පවතී.එහි ප්‍රධානම කරුණ නම් තෝරාගත් සමිතියකට සම්බන්ධ වී සිටි වෙළඳුන් වෙත පමණක් ‍ඉදිකරෙන කඩ කාමර ලබා දීමයි.දෙවැන්න පදික වේදිකාවේ සැබෑවටම වෙළඳාමේ යෙදුණු පිරිස් වලින් බැහැර නමුත් සංගමයේ සාමාජිකත්වය ලබා සිටි වෙනත් පිරිස් වලටද වෙළඳසැල් ලබාගැනීමේ හැකියාවයි.එසේම අනවසරයෙන් ඉදිකරගත් වෙළඳකුටි සැබෑ වෙළෙන්දන්ට කුලියට දී මුදල් ඉපැයූ පිරිස්වලට ද වෙළඳසැල් ලබාගැනීමට ඇති හැකියාවයි.මෙවැනි කාරණා නිසා අදාල කඩ කාමර අහිමි වී යන සැබෑ වෙළඳුන්ගේ ගණනද විශාලය.කලබලයට කොරොස් කටෙත් අත දමා ගන්නට බැරිය යන පරණ කථාව අඵත් වෙමින් රජයේ මේ කලබලකාරී තීරණයට පෙර නිසි විධිමත් සංගණනයකට මේ වෙළඳුන් භාජනය කලානම් හෙට දවසේ මේ කඩකාමර නියම සුදුස්සන්ටම ලබාදෙන්නට හැකියාව ලැබෙනු ඇත.ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි නිසා අපට යෝජනා කරන්නට සිදුවන්නේ මීළඟට ක්‍රියාත්මක කිරීමට යෝජිත (යැයි බොහෝ දෙනා අපේක්ෂා කරන)අනවසර ලෑලි නිවාස (මුඩුක්කු) ඉවත් කිරීමට පෙර එම නිවාස වල සැබෑ පදිංචි කරුවන්ගේ නිසි සංගණනයක් සිදු කර, අවශ්‍ය තරමට ගැලපෙන නිවාස සංකීර්ණ ඉදිකිරීමෙන් පසු ඔවුන්ටම අදාළ නිවාස ලැබෙන වැඩපිළිවෙලක් සකස්කර අවසානයේ එම ලෑලි නිවාස ඉවත් කරන ලෙසය.ඒ වැරදි නොකර සිටීම වැරදි නිවරදි කර ගැනීමට වඩා හොඳ නිසාය.(මෙම ලිපියට අදාළ තොරතුරු මා හට ලබාදුන් පිටකොටුවේ පදික වෙළඳුන් වන සම්පත් මහතාට හා ශ්‍රීධරන් මහතාට ස්තූතිය පුද කර සිටිමි.)

Email: outofboxsrilanka@gmail.com

Comments