මැතිවරණය එපාවීම - කාගේ දොසක්ද?


මහ මැතිවරණය අවසන් විය.ඡන්දයේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව බොහෝ දෙනෙකු සිය ඡන්දය භාවිතා නොකළ බව තහවුරැ වේ.
වෙනදාට පැයෙන් පැය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ප්‍රකාශ කරන මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙවර
එසේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ශේප කර ඇත. ලංකාදීප වෙබ් අඩවියට අනුව නම් ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 55%ක් නොඉක්මවයි.
මීට පෙර වෙනත් ජාතික තලයේ මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීම 70%ක මට්ටමක පැවතිණි.එහෙත් වසරකට හත් අට වරක්
මැතිවරණ පැවැත්වෙන නිසා මැතිවරණයත් සාමාන්‍ය කරණය වී ඇති බවක් පෙනී යයි.

අනෙක් ක‍රණය නම් මැතිවරණය පැවැති දිනයයි. එනම් සිංහල අලුත් අවුරැද්දේ කට ළගම දිනයක මෙම මැතිවරණය යෙදී තිබීමයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථීර සේවකයකුට නම් මෙහි එතරම් ගැටලුවක් ඇති නොවූවද, එදා වේල සොයා ගන්නා කම්කරැවන්ට , පදික වෙළදුන් ඇතුලු ස්වයං රැකියා වල යෙදෙන්නන්ට සේම , කොන්ත්‍රාත් ක්‍රමයට සේවයේ නිරත වන්නන්ටද මෙම දින කිහිපය බෙහෙවින් වැදගත්ය. සිංහල අලුත් අවුරැද්ද නිසා මේ සමයේ ඔවුනගේ ආදායම් මාර්ග විවර වී ඇත. නමුත් සිංහල අලුත් අවුරැද්දෙන් පසු සති දෙක තුනක් යන තුරැ යළි සප්‍රාණික නොවන සාමාන්‍ය ජන ජීවිතය නිසා ඔවුනට නිසි ලෙස ආදායම් උපදවීමට ලැබෙන්නේ නැත. ඒ කාලයේ බතක් උයා, පොල් සම්බලයක් සමග කන්නට වත් මේ දින ටිකේ වෙහෙස වී උපයා ගන්නා දෙයකින් යමක් ඉතිරි කර ගන්නට ඔවුන්ට සිදු වෙයි. එවන් කාරණා කාරණා හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ සේවය කරන බොහෝ දෙනෙකු ඡන්දය දෙන්නට ගමට ගියේ නැත. එසේම බොහෝ කර්මාන්තශාලා වල සේවකයන්ද ඡන්දයට ගමට ගොස් යළි අවුරැදු නිවාඩුවට පෙර සේවයට පැමිණෙන්නට සිදුවන නිසා ගමට ගියේ නැත. මන්ද සිය නෑ හිතවතුන් සමග අවුරැද්ද සමරන්න සිටින ඔවුනට සිය අත මිට මෙලවෙන අතීකාල දීමනාව, වාර්ෂික බෝනස් මුදල සේම වැටුපද ඡන්දයට වඩා වටිනා නිසාය.

පළමුව සටහන් කළ පරිදිම වසරකට කිහිප වරක් පැවැත් වෙන මැතිවරණ හේතුවෙන් මින් වසර දහයකට පමණ පෙරදී මැතිවරණ සමයක මෙරට ජනතාව තුළ දක්නට ලැබුණු උනන්දුව දැන් දැන් දක්නට නැත. එකළ මැතිවරන දිනයකදී කොළඹ ප්‍රදේශයේ සේවය කරන බොහෝ දෙනා කදමලු බැදගෙන සිය ගම් බිම් බලා යති. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ම සෑහීමකට පත් නොවන ඔවුහු එහි ප්‍රතිපල සජීවීව අසන්නටද යොමුවෙති.සිය පරමාධිපත්‍ය බලය වෙනුවෙන් එලෙස සක්‍රීයව දායක වූ සමාජයක් අද වන විට ඡන්ද පොළට යාම පවා ප්‍රතික්ශේප කරන මට්ටමකට පත් වී ඇත. එලෙස වන්නට ප්‍රධානතම හේතුව වන්නේ කඩින් කඩ පැවැත්වෙන මැතිවරණයි. මේ වන විට මෙරට මැතිවරණ පැවැත්වෙන්නේ ජනතාවගේ අවශ්‍යතා අනුව නොව පාලකයන්ගේ බලාධිකාරියේ තහවුරැ කරගැනීම් සදහා බවට මහජනයා අතර මතයක් ඇති වීමද මේ තත්වයට හේතු වී ඇත. රජයේ මැතිවරණ සිතියම සලකා බැලූ කළ මේ වසරේද ඉදිරියේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත් වීමට නියමිතය. ඒ උතුරැ පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන ආයතන සදහා වන මැතිවරණයි.

තෙවන කාරණය නම් මැතිවරණයේ විශ්වාසනීය භාවය කෙමෙන් කෙමෙන් ගිලිහී යාමයි. පසුගිය වසර දෙක තුළ පැවති විවිධ මැතිවරණ වලදී රාජ්‍ය බලය මැතිවරණ ක්‍රියා දාමය කෙරෙහි අනිසි ලෙස යොදා ගැනීමද, විකල්ප මතවාද දරණ ජනතාව වෙනුවෙන් ජනමාධ්‍ය තුළ පැවති අවස්ථා හීන වීමද, ජනතාවගේ තීන්දු තීරණ සූක්ෂමව වෙනස් කරන රජයේ විවිධ ප්‍රචාරක උපක්‍රමද හේතුවෙන් " ආණ්ඩුව කෙක්කෙන් හෝ කොක්කෙන් වැඩේ කර ගන්නා" බව ජනතාව තේරැම් ගෙන තිබීමද මැතිවරණය කෙරෙහි ජනතා උනන්දුව අඩුවීමට බලපා ඇත. එසේම පැවැති ජනාධිපති වරණයෙන් ජයගත් ජනාධිපතිවරයාගේ පක්ෂයම මෙවරත් ජයගන්නා බවට ජනතාව තුළ පවතින අවබෝධයද, අභියෝග කළ හැකි විපක්ෂයක් හා තෙවන පාර්ශවයක් නොමැති වීමද මේ තත්වයට හේතු පාදක වී ඇත.

කෙසේ වූවද ජනතාවට මැතිවරණ ක්‍රමය කෙරෙහි පැහැදීමක්, විශ්වාසයක් නොමැති තත්වයක් මතුවීම නම් භයානක කාරණයකි. එවන් ප්‍රවණතාවයක් දිගින් දිගටම මතුවී එත් නම් වහා සැලකිලිමත් විය යුත්තේ ඡන්දය වෙනුවට "උණ්ඩය" මගින් විසදුම් සොයන මතු පරපුරක් මෙරටට අනවශ්‍ය යැයි සාමයට ලැදි බොහෝ නිහඩ මිනිසුන්ගේ බලාපොරොත්තුව වන බැවිනි. එදා ඡන්දය වෙනුවට "උණ්ඩය" සොයා ගිය වුන්ගේ මතවාදය සාධරණීකරණය කළ, ඔවුන් වෙනුවෙන් ජිනීවා ගිය නායකයෙක් "පාලකයෙක්" වූ රටෙක ජනතාවගේ පරමාධිපත්‍යයට ගෞරවණීය පිළිගැනීමක් ලබාදීමට තවම පමා වැඩි නැත.

Comments