විපක්ෂයේ අංශභාගය- ආණ්ඩුවේ වාසියට - තුනෙන් දෙක ලේසියෙන්ම?


මහ මැතිවරණයට තව ඇත්තේ දින දහයක පමණ කාලයකි.ක්‍රමයෙන් එය තනි අශ්වයෙකුගේ සටනක් බවට පරිවර්තනය වී තිබේ.එජාපය හා ප්‍රජාසය (ජවිපෙ) මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී දැක්වූ උනන්දුව ක්‍රම ක්‍රමයෙන් හීනවී ගොස් ඇත. ලංකා ඊ නිව්ස් සගරාවේ නීතීඥ එල්මෝ පෙරේරාගේ හෙලිදරව්ව (මෙතැනින් කියවන්න)අනුවම මෙදා ඡන්දයේ ප්‍රතිඵලයත් තීරණය වන්නට ඉඩ හැර රාජපක්ෂ මහතාටම දිනුම දී සිටින්නට විපක්ෂය තීරණය කර ඇති සෙයක් පෙනෙන්නට තිබේ.එහෙත් මෙය මෙසේ වන්නට බලපා ඇත්තේ රජයේ බලපුලුවන් කාර කමම නොවන බව පමණක් පෙන්වා දිය යුතුව තිබේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ පවතින දුර්වල කම් නිසි ලෙස හදුනාගෙන පිලියම් නොකිරීමම මෙවන් ඒකාධිපතීත්වයකට මග විවර කර තිබේ.දුර්වල විපක්ෂයක් පැවැතීමම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකෙරෙන අහිතකර බලපෑමක් බැවින් විපක්ෂය ශක්තිමත් කිරීම අද දවසේ අවශ්‍යතාවයක් ලෙස ප්‍රබලව මතු වී පෙනේ.එසේ නොවුණහොත් හෙට දිනයේ බිහිවනු ඇත්තේ අන්ත දුර්දාන්ත භයානක ඒකාධිපතිවාදී රාජ්‍ය යාන්ත්‍රණයකි.


විපක්ෂයේ විශේෂයෙන් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය තුළ දක්නට ඇත්තේ පක්ෂයක් ලෙස කෙරෙන සාමුහික යාන්ත්‍රණයක ස්වරෑපය නොව තම තම හැකි පමණින් තමා ගොඩයාමේ හුදකලා සංග්‍රාමයක සෙවණැලි පමණි. මේ නිසාම සන්ධාන අපේක්ෂකයන්ගේ සෘජු පීඩනයක් එපාපය වෙත එල්ලවන ආකාරයක් දක්නට නැත.මෙම මැතිවරණ ක්‍රමය තුළ කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් ලබා ගත නොහැකි බව දන්නා නිසාදෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා මැතිවරණය ගැන දක්වන්නේ අඩු උනන්දුවකි. එජාපයේ බොහෝ අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් පවා ඇල්මැරැණු, නිර්මාණශීලීත්වයෙන් තොර දියාරැ ස්වරෑපයකින් යුක්තය. කොටින්ම කියතොත් එජාපය වෙනුවෙන් පෝසටරයක් අලවා ගන්නට, අත් පත්‍රිකාවක් බෙදන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පාක්ෂිකයන්ගේ ද ඇත්තේ හිගයකි. පක්ෂය තමන්ගේ බූදලයක් යැයි සිතා සිටින නායක්තවය විසින් තමන්ගේ හිතුමනාපයට බෙදා දුන් ආසන සංවිධායක ධූර හේතුවෙන් සිදු වී ඇත්තේ බිම් මට්ටමේ ක්‍රියාකාරීව සිටි එජාප පාක්ෂිකයන් පවා අලසත්වයට පත්වීමයි. පත් කළ බොහෝ ආසන සංවිධායකවරැන්ට නිසි දේශපාලන පළපුරැද්දක් නැත.එනම් එජාප තරැණ සංවිධානයක, කාන්තා සංවිධානයක, ප්‍රාදේශීය බල මණ්ඩලයක ක්‍රියාකාරකම් වල යෙදෙමින් පියවරෙන් පියවර ඉදිරියට පැමිණ, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව නියෝජනය කරමින් දුෂ්කර ගමනක අවසානයේ ලබාගත යුතුව තිබූ (ඩී.ඇස්. යුගයේ සිට ප්‍රේමදාස යුගය දක්වාම සිදු වූයේ එසේය.එසේ නොවන අවස්ථා කිහිපයක් පැවතියද එලෙස පත්වූවන් සාර්ථක ලෙස ජනතාව අතරට ගියහ.) ආසන සංවිධායක ධූරය අද දවසේ නායකත්වයේ සැබෑ හෝ ව්‍යාජ හිතවතුන්ට කිසිදු කැපකිරීමකින් තොරව ලබාදෙන නින්දගමකි.එසේ ආසනයකට පැමිණෙන බොහෝ සංවිධායක වරැන් ආසනයේ බිම් මට්ටමේ සංවිධායකවරැ, ක්‍රියාකාරිකයන්, පාක්ෂිකයන් ගේ විශ්වාසය දිනාගන්නට අසමත් වන්නේ අඩි 50 ක 60ක දුරක් යන්නටත් ප්‍රාඩෝවට නගින, තමන්ගේ අදහස් දැක්වීම් වලට ඇහුම්කන් දීමට වඩා නවීනතම සෙලියුලරයේ එල්ලී නන් දෙඩවිල්ලට මුල්තැන දෙන, බොරැ පුරාජේරැව මවමින් හැඩි දැඩි තරැණ ආරක්ෂකයින් පිරිවරා ගෙන සිටින ආසන සංවිධායක වරයෙකු ගෙන් පාක්ෂිකයන්ට වැඩක් නොවන බව ඔවුන් සහ සුද්දෙන්ම දන්නා බැවිනි.ගමේ පාක්ෂිකයාට අවශ්‍ය වන්නේ තම ප්‍රදේශයේ අඩියෙන් අඩිය හදුනන, මළ ගෙදරට බණ ගෙදරට අනාරාධනයෙන්ම පැමිණෙන පන්සලේ පල්ලියේ උත්සවයේදී සිය දායකත්වය ලබාදෙන,වාහනයේ යන විටෙක හදුනන පාක්ෂිකයෙකු සමග නැවතී කථා බහ කරන ජාතියේ ආසන සංවිධායක වරයෙකි.



එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයද අද වන විට නායක්තවයේ එහෙයියන්ගෙන් පිරෙමින් පවතින හිස් කතා සාප්පුවකි.එහෙත් එහිදී නිර්භයව අදහස් දක්වන පක්ෂයට ආදරය කරන නියෝජිතයන් කිහිප දෙනාගෙන් ඉල්ලා සිටිය යුතු එක් ඉල්ලීමක් චූලවංශ සතුව ඇත. මේ මැතිවරණයෙන් පසුවද එපාප නායකයාගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග වලට එරෙහි වන්නට ඔබට සිතුනද සජිත් ප්‍රේමදාසව අනුගමනය කරමින් ගොලුවත රකින මෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නේ එසේ අදහස් දැක්වුවහොත් ඔබ සුලු පිරිසද එජාපයෙන් ඉවත්වී ගියහොත් එජාපය යනු රනිල්ගේ, මලික්ගේ සහ මංගලගේ පොදු සමාගමක් බවට පත්වන නිසාය.මන්ද නිදහස, නිදහස් අධ්‍යාපනය, විවෘත ආර්ථිකය වැනි බොහෝ යහපත් දේ මෙරටට උරැම කළ පක්ෂයක් සුන්නත්දූලි වී යාම සිදු විය යුත්තක් නොවන බැවිනි.

එජාපය විසින් බොහෝ දුක් මහන්සියෙන් නිර්මාණය කළ මෙරට දේශපාලනයේ බොහෝ ඇසූ පිරෑ තැන් ඇති පුද්ගලයින් ගණනාවක් අද පවතින රජයේ මහා මෙහෙයුම්කරැවන් ලෙස පත්වී ඇත. විමල් වීරවංශ හැරැණු කළ ජනාධිපතිවරයාගේ රජයේ පෙර ගමන් කරැවන් වී ඇති සියලු දෙනා සලකා බැලූ කළ හිටපු එජාප මන්ත්‍රී වරැන්ය.ඔවුන්ගෙන් බොහෝ දෙනා පක්ෂය හැර ගියේ පසුගිය මහ මැතිවරණයෙන් පසු රනිල් සමග පක්ෂයේ උන්නතිය වෙනුවෙන් වරින් වර ඇතිකරගත් මතබේදාත්මක අදහස් හුවමාරැ වලින් පසුවය.ඉන්පසුව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔවුන් බිලී බා ගැනීම පිටුපස ඇත්තේ ජනාධිපති මහින්දගේ උපක්‍රමශීලීත්වයයි.නිසි විනය ක්‍රියාමාර්ග ගනිමින් මේ ක්‍රියාවලිය ආරම්භයේදීම නවත්වා ගන්නට හැකියාවක් නායකත්වයට තිබුණානම් ඔවුන් බොහෝ දෙනා රැක ගන්නට පක්ෂයට හැකිවනු ඇත. එහෙත් ඊලග පාර්ලිමේන්තුවේ පත්වන එජාප මන්ත්‍රීවරැන් අතර එවන් දක්ෂයින් ඇතුළත් විය හැකි නම් ඒ අතක ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. ඔලුගෙඩි ගණනින් පමණක් රටේ ප්‍රධානම විපක්ෂය බවට පත්වීම හැරැණු කළ රජයේ ගමනට විකල්පයක් ඉදිරිපත් කරමින් එයට අභියෝගයක් එල්ල කළ හැකි විපක්ෂයක් ඉදිරි පාර්ලිමේන්තුවේදි දක්නට ලැබේදැයි යන්න සැක සහිතය.ආණ්ඩුවේ වැරදි ගමන්මග නිසාම ජනතාව අතර කළකිරීමට පත්වීමෙන්ම හෝ රනිල් මංගල දෙදෙ‍නාගේ සූක්ෂම ක්‍රියාදාමයක් හරහා හෝ එම රජය බිද වැටෙනතුරැ බලා සිටින්නට විපක්ෂයට සිදුවනු ඇත. එසේ නොවුණහොත් හා අඩුපාඩු මගහරවා නොගන්නා රනිල් ගේ නායකත්වය යටතේම 2016 මහ මැතිවරණයට යන්නට සිදුවුවහොත් එජාපය ත්‍රීවිලර් පක්ෂයක් බවට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

රනිල් වික්‍රමසිංහගේ විදේශ සබදතා හා ආර්ථික කළමණාකරන හැකියාව පෙන්වමින් රටේ ආර්ථිකය හදන්නට තමන්ට ඡන්දය දෙන්නැයි ජනතාවට කියන එජාපයට තමන්ගේ අපේක්ෂක ලැයිස්තුව වත් පිළිවෙලකට හදාගන්නට හැකියාවක් නැත."සිරසෙන් හා ලංකාදීපයෙන්" ප්‍රමුඛව පෞද්ගලික මාධ්‍යවලින් සිය මතවාදය ජනතාව අතරට ගෙන යන්නට උත්සහ කරන එජාපය එයින් සෑහීමකට පත්වන්නේ බුද්ධිමත් ජනතාව තමන් සමග එකතුවනු ඇතැයි විශ්වාසයෙනි. එහෙත් ගෙයින් ගෙට ගොස් ගැමියන්ගේ අල ගෙඩි තරම් මොළ ගෙඩි වලට සරල සිංහලෙන් රජයේ "කොලේ වසා ගැසිල්ල" කියා දෙන්නට එජාපයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නන්ට අවශ්‍යතාවයක් නැත.එසේ ගෙයින් ගෙට ගියානම් තවත් ඡන්ද ලක්ෂ පහ හයත්වත් වැඩිකර ගන්නටත් එජාපයෙන් දුරස්වූ එජාපයේ පැරණි හිතවතුන් දිනාගන්නටත් හැකියාව ලැබෙනු නියතය.වසර ගණනාවක් පුරා නොකඩවා ප්‍රකාශයට පත්කළ පක්ෂයේ නිල පුවත් පත වූ "සියරට" අද නැත. එසේම වරින් වර ඇරැණු වැසුණු එජාපයේ නිල වෙබ් අඩවියේද නිරන්තර අලුත් වන වැදගත් යමක් දක්නට නැත.


එජාපයේ නායකත්වය දරණ රනිල්ට නම් ඔහුට එරෙහිව ඇති සියලු අභියෝග දුර්වල වී වෙනත් කිසිදු නායකයෙකු නැති කලෙක තමන්ගේ අතටම ඔටුන්න ලැබෙන තුරැ කල්මැරිය හැකි වුවද එජාපය වෙනුවෙන් කැප වී වැඩකළ, ගුටිකෑ, ජීවිත පූජා කල පාක්ෂිකයන්ට සේම රජයේ ගමනින් රට නිසි මග නොයන බව දැන සිටින අනෙකුත් පිරිස් වලද අපේක්ෂාව වන්නේ අභියෝග වලට එරෙහිව සටන් වදින ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අවංකව හඩ නැගිය හැකි එජාපය ප්‍රමුඛ විපක්ෂයකි.

එජාපය 1994න් පසුව ක්‍රම ක්‍රමයෙන් අනුගමනය කළ ඉහත දැක්වූ කාරණාව ප්‍රමුඛව නොදැක්වූ බොහෝ කරැණු කාරණාද හේතු කොටගෙන අද වන විට මන්දපෝෂණයෙන් හා අංශභාගයෙන් එකවිට පෙලෙන රෝගියෙකුගේ මට්ටමට වැටී අවසන්ය.ජනතා විමුක්ති පෙරමුණද පැරණී වාමාශික පක්ෂ විසින් අනුගමනය කර පොට වරද්දා ගත් ආණ්ඩු වලට මුක්කු ගැසීමේ ආනිසංසය නිසාම කිසිවක් කරකියාගත නොහැකි තත්වයට පත්වී ඇත.මහින්ද රාජපක්ෂ රජය විසින් එතෙක් කලක් ජවිපෙ ය විසින් රැගෙන ආ සියලු සටන් පාඨ ඔවුන්ට අහිමි කිරීමෙන් පසුව කර තබා ගත් ජනරාල් වරයාද ජවිපෙ යට බරවා කකුළක් වී හමාරය.පෙනී යන ආකාරයට ආසන පහකට අඩු ගණනකින් (සමහර විට ජාතික ලැයිස්තුවේ ආසනයකින් පමණක්) සෑහිමකට පත්වන්නට ජවිපෙ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට සිදුවනු ඇත.

සත්‍ය වශයෙන්ම මේ රජය කෙරෙහි ජනතාවගේ ආකර්ශණයරැදවීමට සමත් එකම පුද්ගලයා "මහින්ද රාජපක්ෂ" ජනාධිපතිවරයා පමණකි. රජයේ බොහෝ මැති ඇමතීන් කෙරෙහි ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නැත. එවන් තත්වයක් යටතේ විධිමත් ප්‍රචාරක යාන්ත්‍රණයක් මෙහෙයවීමේ සැලැස්මක් විපක්ෂයට, විශේෂයෙන් එජාපයට පැවතුනා නම් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් 40% තවත් වැඩි කර ගැනීමේ හැකියාව අනිවාර්යය.කෙසේ වුවද ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ මැතිවරණ ක්‍රමයේ ආනුභාවයෙන් මන්ත්‍රීධූර 60-70ක් දක්වා යන්නට එජාපයට හැකියාව ලැබෙනු ඇත.දෙමළ සන්ධානය හා විපක්ෂයේ සෙසු පක්ෂ විසින් තවත් ආසන තිහක් දිනාගත හොත් රජයට දිනාගත හැකි වන්නේ ආසන එකසිය තිහකට අඩු ප්‍රමාණයකි. එහෙත් එයද තීරණය වන්නේ නිදහස් හා සාධාරණ ඡන්දයක් හා සාධාරණ ගණන් කිරීමේ ක්‍රියාවලියක අවසානය මත පමණි.ඒ වෙනුවෙන් අවසානය වෙනුවෙන් නොසිට සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හා අපක්ෂපාතී රාජ්‍ය නිළධාරීන්ගේ මැදිහත් වීමකින් විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවගේ ඡන්ද අයිතිය රැකගැනීමට මැදිහත් වීම විපක්ෂයේ වගකීමයි.

(උපුටා ගැනීම් - දර්ශන කරැණාතිලකගේ හා දාස හපුවලානගේ කාටුන් පිළිවෙලින් ලක්බිමේ හා ලංකාදීපයේ පළවූ ඒවාය.)

Comments