Avatar, Hurt Locker සහ අපේ සිනමාව

82 වෙනි ඔස්කාර් සම්මාන උළෙල පසුගිය මාර්තු 07 වෙනිද පැවැත්වුණා. එම සිනමා උළෙලෙ ප්‍රථම වතාවට හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙවර හිමිවුණේ කාන්තාවකට. ඒ Hurt Locker චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා Kathryn Bigelowට. ඇයත් සමග කරට කර සටනක හිටියෙ පසුගිය මාස කිහිපයේ බොහෝ චිත්‍රපට රසිකයින්ගේ ආකර්ශනය දිනාගත් Avatar චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්. පුදුමය කියන්නේ මේ දෙදෙනා කලකට පෙර අඹු සැමියන් විදියට එක ගෙදර එකට හිටපු දෙන්නෙක් වීම. අද ඔවුන් දික්කසාද වෙලා දෙපොලක හිටියත් මේ චිත්‍රපට දෙකේම අන්තර්ගතය තුළ කතාබහ කෙරෙන්නේ ඇමරිකාවේ විදේශ මැදිහත් වීම් ගැන. (ඒත් මට හිතෙන විදියට අනාගතයේ කතාවක් හැටියට ඇමරිකාවේ වත්මන් "පොලිස් පාට්" භූමිකාව විවේචනය කරන Avatar චිත්‍රපටය Hurt Locker ට වඩා ප්‍රබලයි.)


අපේ රටේත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන අඹු සැමි යුවල අතරින් වඩාත් ප්‍රසිද්ධම 'ලෙස්ටර්- සුමිත්‍රා' යුවළ. මෙදා ඔස්කාර් උළෙලෙදි වුණා වගේ සිද්ධියක් අපේ රටේ සිනමාවෙත් පසුගිය වසරවලදි සිදුවුණා. ඒ තමයි ඊට කළකට පෙර අඹුසැමියන් හැටියට සිට වෙන්වූ දෙදෙනෙක් සමගාමී කාලයකදී චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීම. ඒ තමයි ඉනෝකා සත්‍යාංගනී (කීර්තිනන්ද?) නිර්මාණය කළ "සුළං කිරිල්ලී" සහ සුදත් මහදිවුල්වැව නිර්මාණය කළ "සුදුකලු සහ අලු" කියන චිත්‍රපට දෙක.මේ චිත්‍රපට දෙකම පසුබිම් වුණේ එකම වගේ තේමාවක. යුද්ධය උරැම කර ගත් සමාජයක සොල්දාදුවකුගේ පවුල් පරිසරය හා බැදෙන විවිධ සිද්ධීන් ඒ තුළ නිරැපණය වුණා. ‍මේ චිත්‍රපට දෙක අතරින් මෙරට ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයට ලක් වුණේ "සුළං කිරිල්ලී" චිත්‍රපටය.ඊට වඩා හේතු වුණේ ඒ දිනවල රටේ මතුවෙමින් තිබූ යුධවාදී මානසිකත්වය ආවැඩුවෙ "අබා" වගේ රණකාමී චිත්‍රපට සදහා මිසෙක යුද්ධයේ මතුපිටට නොපෙනෙන යථාර්තය මතු කෙරෙන "සුදුකලු සහ අලු" වගේ චිත්‍රපටයකට නොවීම විය යුතුයි.

ඒ දෙදෙනාම මෙම චිත්‍රපට අධ්‍යක්ෂනය කලේ ඊට කලකට පෙර තිස්ස අබේසේකර මහතාගේ සභාපතීත්වයෙන් යුතු සමයේ චිත්‍රපට සංස්ථාව ලබාදුන් ප්‍රශස්ථ තිර පිටපත් සදහා ප්‍රදානය කල විශේෂ ණය ක්‍රමයකින් ගත් මුදලින්.ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු සිනමා වෙළදපොලක් නැති අපේ රටේ ආර්ථික හා සමාජීය පසුබිමත් සලකා බැලූවම සම්භාව්‍ය මට්ටමේ සිනමා කෘතියක් කරල වියදම් කල මුදලවත් හොයාගන්න අමාරැයි. ඒ නිසා තමයි අපේ වසර පනස් තුනක සිනමා ඉතිහාසය තුල කලාත්මක චිත්‍රපට නිර්මාණය කරපු බොහෝ දෙනෙක් එකකින් දෙකකින් නැවතිලා තියෙන්නෙ. ඊට වඩා වැඩි ගණනක් කලාත්මක සිනමා කෘති කරපු කවුරැ හෝ හිටියනම් එක්කෝ හොද ආර්ථික පසුබිමක් තියෙන පරම්පරාවක කෙනෙක්(ලෙස්ටර්-සුමිත්‍රා- තිස්ස). එහෙම නැත්නම් වෙනත් කිසියම් හෝ සිවිල් සමාජ බලයක් හරහා තමන්ට කියල අවකාශයක් ගොඩනංවා ගත් කෙනෙක් (සුනිල් ආරියරත්න - වසන්ත ඔබේසේකර- අශෝක හදගම).

හැබැයි අපේ රටේ සිනමාව ලෝකය වෙත ගෙනයන්න පුලුවන් කලාත්මක සිනමා නිර්මාණ වැඩි වැඩියෙන් නිර්මාණය වීම මත පමණක් බව පරම සත්‍යයක්.ඒක පසුගිය වසර පනස් තුන තුළ සන්ධිස්ථාන සටහන් කළ සිනමා නිර්මාණ නාම ලේඛණය දිහා බැලුවාම පැහැදිලියි. එහෙම නැතිව 60-70 දශක වල ජනප්‍රිය හින්දි සිනමාවේ වට්ටෝරැ කතන්දර ආකෘතියේ වීරයා+පෙම්වතිය+ දුෂ්ඨයා+වීරයාගේ ගෝලයා සිටින පවුලේ කතන්දර වලින් යන්න පුලුවන් දුරක් තියෙනව නම් ඒක බොහොම කෙටියි.වාණිජ සිනමාව දේහීය වශයෙන් අවශ්‍යයි තමයි. ඒත් නිර්මාණශීලීත්වය තියෙනව නම් වට්ටෝරැ කතන්දර වලින් තොරව හොද මට්ටමේ වාණිජ සිනමා නිර්මාණ කරන්න පුලුවන් කියල පසුගිය වසර කිහිපය තුළ සාර්ථක වුණු අබා,හිරිපොද වැස්ස, බින්දු, සරෝජා, අලි පැටියෝ ඔයයි මමයි, සිකුරැ හතේ වගේ චිත්‍රපට ගැන සලකා බැලුවම පේන්න තියෙනවා.

තාක්ෂණය අතින් අදවගේ පහසුකම් නැති යුගයක අපේ නිර්මාණ කරැවන් අතින් නිර්මාණය වුණු විරාගය(ලෙස්ටර්), නිධානය(ගාමිණී),ගම්පෙරලිය(ලෙස්ටර්),බමරැ ඇවිත් (ධර්මසේන පතිරාජ) වගේ චිත්‍රපට ගැන අදටත් ලෝකයේ බොහෝ සිනමා විචාරකයන් පැසසුමෙන් කතා කරනවා.මේ සේරම චිත්‍රපට විදේශයන්ගේ අවධානයට යොමුවුනේ චිත්‍රපට සංස්ථාව බිහිවීමත් සමග ඒවා විදෙස් උළෙලවල් සදහා ඉදිරිපත් කිරීම නිසා කියලයි මම අහල තියෙන්නෙ. ඒත් වර්තමානයේ චිත්‍රපට සංස්ථාව කියන්නෙ කෙරෙන්න ඕන වැඩ නොකෙරෙන නොකෙරෙන්න ඕන දේවල් කෙරෙන තැනක් හැටියට ප්‍රචලිත වුණු තැනක්.ඒ නිසාම එදා ලෙස්ටර් ලට පතිරාජලට ලැබුණු අවස්ථාව අද ඉනෝකලට, සුදත්ලට, උදයකාන්තලට ලැබෙන්නෙ නෑ. තම තමන් පෞද්ගලිකව ඇති කරගන්නා සබදකම් ඔස්සේ සෝමරත්න දිසානායකලා, හදගමලා, ප්‍රසන්නලා තම තමන්ගේ චිත්‍රපට යම් දුරකට විදේශයන් වෙත ගෙන ගියත් හැමෝටම ඒදේ විධිමත්ව කර ගැනීමේ හැකියාවක් නෑ. අනිත් අතට චිත්‍රපටය නිර්මාණයට ගිහින් අවුරැද්දක් දෙකක් ‍තමන්ගෙ අනෙකුත් ආදායම් එන වැඩ නවත්වලා, හෙම්බත් වෙලා ඉන්න නිර්මාණ කරැවෙකුට ඒ වගේ දෙයකට යොමු වීමේ ආර්ථික හැකියාවකුත් නෑ.


පසුගිය සමයේ අපේ රටේ රැගුම් පාලක මණ්ඩලයේ සමහර මැදිහත්වීම් නිසාත් කලාත්මක චිත්‍රපට නිර්මාණ කරැවන් අ‍ධෛර්යමත් වුණා කියල හිතන්න පුලුවන්.අශෝක හදගමගේ 'අක්ෂරය' චිත්‍රපටය තහනම් කිරීමත්, තවත් සමහර චිත්‍රපට වල දර්ශණ ඉවත් කිරීමත් ඔවුනගේ ඒකාධිකාරිය ට හොද උදාහරණ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම වුණත් මීට වඩා විධිමත් විධියට කරන්න තිබුණ. මේ අයගේ මිනුම් දඩු වල හැටියට Lady Chatterly ‘s Love Story වගේ ප්‍රශස්ථ මට්ටමේ සිනමා කෘතියකටත් ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් වීම සිනමාව රසවිදින බොහෝ දෙනෙකුට පාඩුවක්.

පසුගිය සමයේ සිදුවුණු වැරදි නිවරදි කරගෙන , ඉදිරියේදීවත් අපේ සිනමාවේ ප්‍රගමනයට වැදගත් වන තීරණ ගැනෙන රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගෙනවනම් අපේ සිනමාව ලෝකයේ කතා කෙරෙන සිනමා නිර්මාණ වලින් පුරවන්න හැකියාව අපිට ලැබේවි.එහෙම වුණොත් තව අවුරැදු දහයකින් දොළහකින් ඔස්කාර් සම්මාන උළෙලෙ හොදම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානයට නම් කෙරෙන (සම්මාන ලබන්නම ඕනෙ නෑ. නම් කෙරැණත් ඇති)සිනමා නිර්මාණ අතරෙ අපේ සිනමා නිර්මාණයකුත් තියෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. අපිට බැරි නෑ. නැත්තේ අවශ්‍යතාවයයි.

Comments