තිස්ස අබේසේකර මියගොස් වසරයි. ගුණ කථන වලින් හිස්තැන් පිරවිය හැකිද?


ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අනූ එක් වෙනි ජන්ම දිනයෙන් සතියක් ඉකුත් විණි. ඊළගට එළැඹී සතියේ යෙදී ඇත්තේ ලෙස්ටර් ගෙන් පසු සිංහල සිනමා වංශ කතාව තුළ සටහන් වන විශිෂ්ඨතම වෘත්තිකයෙකුගේ පළමු ගුණානුස්මරණයයි. අප්‍රේල් 18 දිනට වසරකට පෙර හදිසියේ අප අතරින් සමුගත් ඔහු නම් තිස්ස අබේසේකරයි. ගම්පෙරලියේ සහය අධ්‍යක්ෂ වරයෙකු සේම නිල නොවන පිටපත් රචකයාද වෙමින් සිය සිනමා ගමන් මගේ ආරම්භය සනිටුහන් කල ඔහු එතැන් පටන් දිගින් දිගටම සිංහල සිනමාවේ මතකස්ථම්භ නිර්මාණය කරන්නට දායක විය. නිධානය නම් සිංහල සිනමාවේ මෙතෙක් බිහිවූ හොදම නිර්මාණයේ පිටපත් රචකයා වෙමින්ද, විරාගය,කරැමක්කාරයෝ ,මහගෙදර වැනි සිනමා නිර්මාණ බිහි කරමින්ද , තවත් බොහෝ අවස්ථා වල සිනමා රංගධරයෙකුගේ කාර්ය භාරය ඉටුකරමින්ද තිස්ස අ‍බේසේකරයන් සිංහල සිනමාව වෙනුවෙන් සිය වෘත්තීමය දායකත්වය දැක්වීය. එසේම අනූව දශකයේ අග භාගයේදී රාජ්‍ය චිත්‍රපටසංස්ථාවේ සභාපති වරයා වශයෙන් සිනමා පරිපාලනයේද කටයුතු කළ මෙතුමා එසමයෙහි නිර්මාණාත්මක චිත්‍රපට නිෂ්පාදනය දිරිගැන්වීමට පියවර ගත්තේය.චිත්‍රපට කේෂත්‍රයට අමතරව ටෙලි නාට්‍ය නිර්මාණයට හා ග්‍රන්ථකරණයට දායක වූ තිස්ස අබේසේකරයන් සිය එකම කෙටිකතාව ( මා දන්නා තරමට) වූ "මායා" හරහා සිය සාර්ථකත්වය මැනවින් ඔප්පු කළේය.

ගම්පෙරළියේ නිරෑපිත පන්ති අරගලය දෙබස් ඛණ්ඩ කිහිපයකින් ගොනුකර කියන්නටත්, නිධානයේ විලී අබේනායකගේ හැගීම් නිරෑපණයට මොණරෙකු යොදා ගැනීමත් වැනි අවස්ථා ඔහුගේ තිර පිටපත් රචනයේ දී දක්නට ලැබුණු විශේෂ අවස්ථා ගණනාවකින් කිහිපයකි."ඇසට නොපෙනෙන,කණට නොඇසෙන කිසිවක් තිරනාටකයකට ඇතුළත් නොවිය යුතුයි" යන්න ඔහු ගේ තිර පිටපත් රචනයේ මූලික සිද්ධාන්තය බවට පත් වුණා.ඒ නිසාමඔහු ගේ තිර රචනාවේ ප්‍රබල බව චිත්‍රපටයේ තත්පරයෙන් තත්පරය ගෙවෙද්දි කදිමට පැහැදිලි විය. පවුල් පසුබිම හරහා ලැබුණු ‍පෙරදිග හා බටහිර සාහිත්‍ය දැනුමත්,දිවිභාෂා හැකියාවත්, පොත් පත් කියවීමේ නිපුණතාවයත් නිසා ඔහු පරිපූර්ණ බුද්ධිමතෙකු විය.සිය දේශපාලනික විශ්වාසය වූ කොමියුනිස්ට් දර්ශණය වෙනුවෙන් දිවි ඇති තුරැ පෙනී සිටි ඔහු සැමදාම පීඩිතයන්ගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටියේය.කිසිදා මුදල් පසුපස ‍හඹා නොගිය තිස්ස බේසේකරයන්
මියයන විටද තමන්ටම කියා උරැම නිවසක වසන්නට වාසනාව නොලැබීය.එහෙත් එවන් පසුබිමක සිටියදීත් ඔහු චිත්‍රපට සංස්ථා සභාපති ධූරය හොබවන සමයේ කැළණිය සරසවි චිත්‍රාගාරයේ අලුත් වැඩියාවන් සදහා ආනයනය කරන්නට කටයුතු කළ උපකරණ සදහා ලැබෙන්නට නියම වූ රැපියල් ලක්ෂ ගණනක කොමිස් මුදල පවා ප්‍රතික්ෂේප කරන්නට යෙදුනි.

ශ්‍රී ලංකාවේ පළවන බොහෝ පුවත්පත් වලද,සගරා වලද මේ සමයෙහි ඔහුගේ ගුණානුස්මරණය වෙනුවෙන් තවත් බොහෝ දේ ඔහු වෙනුවෙන් ලියැවෙනු ඇත.මම ද ඉහතින් උත්සහ දැරැවේ ඒ සදහා නොවූවත් ඔහු ගැන සංක්ෂිප්ත සටහනක් මෙහි තැබූයේ ඔහුගේ කාර්යභාරය පිළිබද නොදන්නෙක් මේ ලිපිය කියවයි නම් ඒ අයගේ දැනුවත් භාවය වෙනුවෙනි.

දැන් තිස්ස අබේසේකර මිය පරලොව ගොස් වසරක් ඉක්ම ගොස් ඇත. සිංහල සිනමාව අරභයා සලකා බැලූ කළ අපට සිටි හොදම තිර පිටපත් රචකයාද , හොදම රංගධරයාද(ගාමිණි ෆොන්සේකා),මෙතෙක්බිහිවූ හොදම සංගීත අධ්‍යක්ෂ වරයාද(ප්‍රේමසිරි කේමදාස) අපට අහිමි වී ගොස් ඇත. ඉතිරි වී සිටින්නේ හොදම අධ්‍යක්ෂ වරයා වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පමණකි.ඒ තව කොපමණ කලකට දැයි අනාවැකි කියන්නට අපට නොහැකිය.ඔහුද මියගිය පසු ගුණ කථන පවත්වා ආදාහනය හෝ භූමදානය කළ පසු සියල්ල අමතක කර දැමීමට අපි කටයුතු කරනු ඇත.එහෙත් අප ඔවුන් වෙනුවෙන් මෙතෙක් කලක් ඉටුකලේ මොනවාද? මිය යන දේශපාලකයෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝක කථන සදහා පැය කිහිපයක් වෙන්කරන්නට හුරැවූ සමාජයක , ඔවුන් ගේ නමින් විවිධ ආයතන, ක්‍රීඩා පිටි, රෝහල් , පාසල්, වීථි නම්කරන්නෙමු. (ලෙස්ටර් නමින් නම් දැනටම කොළඹ බම්බලපිටියේ පාරක් නම් කැර ඇත.) මේ මහා සිනමා වේදීන් අපේ රටේ සිනමා කේෂ්ත්‍රයේ සිදු කළ නිර්මාණ කාර්යභාරයන් නිසා ලෝකයේ බොහෝ රටවල් පහන් හැගුමෙන් දිනා දෙන්නට හැකිවූ නමුදු වසරකට ලක්ෂ ගණනින් මහජන මුදලින් පඩිකන, වසර පහකින් පසු පරම්පරාවටම සුවසේ ජීවත්වෙන්ට හැකි විශ්‍රාම වැටුප් ලබන දේශපාලකයින් කී දෙනෙකුට නම් එසේ කිරීමට හැකි විණිද?

සැබැවින්ම දේශපාලකයින්ට වඩා සිය දහස් ගණනකින් මෙරටට වටිනා මේ උතුම් කලාකරැවන් වෙනුවෙන් පාරක්, පාසැලක් නම් කරන්නට යැයි මා යෝජනා කරන්නේ නැත. විය යුත්තේ වරින් වර ඔවුන් විසින් කර්මාන්තයේ දියුණුව උදෙසා යෝජනා කල විවිධ අවශ්‍යතා ඉටුකිරීමයි.ලෙස්ටර් 60 දශකයේ සිටම ඉල්ලීම් කලේ සිනමා සංරක්ෂණාගාරයකි.එහෙත් "සංදේශය" 1983 ජාත්‍යාල කාරයින් විසින් ගිනිබත් කරන තුරැද, "නිධානය" සංස්ථා බලධාරීන් විසින් මෑතකදී වනසන තුරැද ඒ ඉල්ලීම ඉටු වී ත.එතෙක්
මෙතෙක් වැනසී ගිය තවත් සිංහල චිත්‍රපට සිය ගණනකි.ප්‍රේමසිරි කේමදාස මහතා ස්ථිර තැනක් නැතිව තැනින් තැන සිය සංගීත පුහුණු පාසල පවත්වාගෙන යමින්ඉල්ලීම් කලේ ස්ථීර සිනමා ඇකඩමියකි.එයද තවම ඉටුවී නැත.ගාමිණී ෆොන්සේකා මහතා ‍කළ යෝජනාවන් අතර ප්‍රධාන වූයේ සිනමා ශිල්පීන්ගේ ජීවන තත්වය උසස් ලෙස පවත්වාගෙන යාමේ පසුබිම ගොඩනැගීමයි.
හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් "කලාපුරය" බිහිකර කලාකරැවන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් නිර්මාණය වූයේ ඒ ඉල්ලීමට යම් ප්‍රතිචාරයක් වශයෙනි. නමුත් මේ වන විට කලාපුරයේ දොර හැරෙන්නේ දේශපාලන වේදිකා සරසන සිනමා තරැ වෙනුවෙන් පමණක් බව ප්‍රසිද්ධ රහසකි.තිස්ස අබේසේකරයන් ද චිත්‍රපට සංරක්ෂණාගාරයක් වෙනුවෙන් කිහිප වරක්ම සිය යෝජනා ඉදිරිපත් කළේය.එසේම විශිෂ්ඨ සිනමා කෘති නිෂ්පාදනය කරන සිනමා වේදීන් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයන විධීමත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවයද, සිනමා පුහුණු පාසලක අවශ්‍යතාවය වෙනුවෙන්ද යෝජනා ඉදිරිපත් කර ඇත.එහෙත් මේ එකක්වත් මේ වන තුරැ විධිමත්ව ඉටුවී නැත.ඉටුකිරීමේ සූදානමක් පෙනෙන්නටද නැත.රට කරවන දේශපාලකයන් රටට අවශ්‍ය අරමුණු කරා මෙහෙයවන
සිවිල් සංවිධාන හා පුද්ගලයින්ද දැන් දැන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වන බවක් නොපෙනේ. සිනමාව හා කලාව වෙනුවෙන්එසේ ඉදිරිපත් වූ ටී. ඇම්. සංඝදාස, රෝහණ වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය වැනි පුද්ගලයන්ට තනතුරැ වරප්‍රසාද පිරිනමා ඔවුන් නිහඩ වන මට්ටමකට පත් කැර ඇත.

ලක්ෂ සිය ගණනක් වියදම් කරමින් ඉදිකෙරෙමින් පවතින, මැතිවරණය නිසා කඩිනමින් පළමු අදියර විවෘත කල තිස්සමහාරාම, රන්මිණිතැන්නේ "රන්මිහි(මහින්ද)තැන්න" ටෙලි සිනමා ගම්මානයේ සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකරන බවට ජනාධිපත්වරයා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 91වන උපන්දිනයට සුභ පතමින් ප්‍රකාශ කළේය. සෑම කලාකරැවෙකුටම උපන් දින සුභ පැතුම් පිරිනමන්නට උදෑසනින්ම අමතන ජනාධිපතිවරයා පසුගිය සමයේ ජීවත්ව සිටියදී මෙහි නම් සදහන් අනෙක් කලා කරැවන්ටද සුභ පතන්නට ඇත. එවිට ඔවුන්ටද ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නට පොරොන්දු වන්නට ඇත.එහෙත් අවාසනාවට ඒවා තවම ඉටුවී නැත.දැන් ඉදිකරන රන්මිහිතැන්නේද අවශ්‍ය නම් ඉහත විශිෂ්ඨයන්ගේ යෝජනාවන් සදහා ඉඩකඩ සැකසීමේ හැකියාවක් පවතී.තනි තනිව හඩ නගන සිවිල් පුරවැසියන් වශයෙන් අපට ඇත්තේ ඒවා ඉටුවනතුරැ අපේක්ෂාවෙන් දෑස් දල්වා බලාසිටීමට පමණි.නැත්නම් විය යුත්තේ දේශපාලකයන් කඩේ නොයන බවට සහතික වන කිසියම් සංවිධානයක කොටස් කරැවන් වී පුලුල් හඩක් නැගීමට සූදානම් වීමයි.
එසේම ලිපිය අවසන් කිරීමට මත්තෙන් ලිපිය ලිවීමට පාදක වූ තිස්ස අබේසේකරයන් සම්බන්ධයෙන් තවත් යමක් කිව යුතුව තිබේ. මහා පුරැෂයෙකු ලෙස සමාජය අභිමුව පෙනී සිටියද අබේසේකරයන් සිය ජීවිතයේ භෞතික සැප සම්පත් සොයා ධනය රැස් කල් නැත.නොසිතූ මොහොතක මිය පරලොව යනවිට ද ඔහු ජීවත්ව සිටියේ රාජගිරියේ සීමිත සම්පත් වලින් සමන්විත කුලී නිවසකය.ඒ වනවිට 20වන වියෙහි සිටි ඔහුගේ දියණිය විදෙස් අධ්‍යාපනයට සූදානමින් සිටියේය. 18 වියැති පුතුණුවන් උසස් අධ්‍යාපනය අවසන් කර සිටියේ නැත. අද වන විට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බිද වැටී ඇත.අබේසේකරයන් ජීවතුන් අතර සිටියේ නම් ඔහුගේ සමාජ සම්බන්ධතා, හැකියාවන් හරහා දරැවන්ගේ අවශ්‍යතා කෙසේ හෝ සපුරාලනු ඇත. කිසිදා දේශපාලන වේදිකාවකට ගොඩ නොවූ සිය මතය සාක්ෂාත් කර ගැනීම සදහා සෘජුව පෙනී සිටි ඔහු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බිරියට හා දරැ දෙදෙනාට පදිංචි වන්නට ස්ථීර නිවසක් හා දරැ දෙදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නිසි ලෙස නිමා කරන්නට අත්වැලක් සපයනු ඇතැයි අපට විශ්වාසය තැබිය නොහැක.
ඒ වෙනුවෙන් පෙනී සිටින්නට උනන්දුවන සිවිල් ජන සමාජයේ බොහෝ සාමාජිකයන් වෙනුවෙන් පෙරගමන් අරඹීමේ කාර්යය ඔහුගෙන් ගුරැ හරුකම් ලද, කේෂ්ත්‍රයේ මග පෙන්වීම් ලැබූ විමුක්ති ජයසුන්දරලා, ඉනෝකා සත්‍යාංගනීලා, අතුල ලියනගේලා ප්‍රමුඛව අපේ යුගයේ සිනමා විශිෂ්ඨ යන් විසින් සිදුකල යුතුමය. එවිට ඔවුන් වෙනුවෙන් මතු යම් දිනකදී පෙනී සිටීමේ හැකියාව ආදර්ශයක් ලෙස ගැනීමට මතු පරපුරේ සිනමා කරැවෝ නිරායාසයෙන්ම පෙළඹෙනු ඇත.

Comments