අවසානයේ සිදුහත් බුදුවුණේ නැත.....

                  පසුගිය දිනෙක මඟේ පුංචි පුතු ඔහුගේ පෙර පාසැලේදී සිදුහත් කුමරාගේ චරිත කතාව උගෙන තිබිණි... ඉන්පසු දින කිහිපයක් යන තුරුම ඔහුට ඒ සම්බන්ධ කතා පැවැසීමට මට සිදුවිය.. කාර්යබහුල වේලාවන්හීදී එම ඉල්ලීමෙන් මිදීම පිණිසත්, එම කථා ඔහුගේ මනසේ රැඳවීමට අවශ්‍ය නිසාත් යූ ටියබ් වෙබ් අඩවියෙන් බුදු සිරිත ඇතුළත් කථාංග , ගීත ආදියද ක්‍රියාත්මක කර දුනෙමි... ඒ අතර පහත ගීතයද විය. 

කිහිප වාරයක් ඇසීමෙන් පසු මටද මේ ගීතය හුරුපුරුදු වූ පසු මෙම ගීතයේ සිදුවීම් වර්තමාන සමාජ වටපිටාවට ගලපාගන්නට අවශ්‍ය සිද්ධි දාමයක් මඟේ සිතේ ඇඳිණි. මේ ඒ සිද්ධි දාමයේ ඇමුණුමයි... වත්මන් සමාජයට ජනමාධ්‍ය හා නවීන සන්නිවේදන උපක්‍රමත්, සමාජ සංවිධාන හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලත් බලපෑම මෙම සිද්ධි දාමයෙන් පැහැදිලි වනු ඇතැයි සිතමි...  
--------------------------------------------------------------------------------------------------------
ඇසළ පුන්පෝදා කපිලවස්තුවේ නඟර දොරටුවෙහි පැවැති 'කාර්තික උත්සවය'ට සහභාගී වී මැදියම් රැයෙහි සිටු මැදුරට පැමිණි තරුණ අනේපිඩු සිටුතුමා පසුදා අවදි වූයේ තරමක් පමාවෙනි....

අවදිව නොබෝ වේලාවක් සයනයේම ඒ ම් අත පෙරලෙමින් පෙරදා රැයෙහි විඳි සොඳුරු අත්දැකීම්  සිහි කළ ඔහුගේ දැහැන බිඳුනේ ජංගම දුරකථනයට පැමිණි කෙටි පණිවිඩයක හඬිනි. 

"නිව්ස් ඇලර්ට් එකක්..." 

" සුද්ධෝදන රජු පුත් සිද්ධාර්ථ මාළිගයෙන් අතුරුදහන් වී ඇත. සිද්ධියට ඡන්න ඇමැති සම්බන්ධ බවට සැකයක්" - රත්තරන් චැනල් නිව්ස්"

"අම්මට හුඩු...."

දනිපනියේ ඇඳෙන් බිමට බට අනේපිඬු වහාම ආලින්දයට ගොස් රිමෝට් කන්ට්‍රෝලයෙන් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළේය... 

හිතුවා හරිය.... රටම කළඹවමින් ඔබට ඔබන චැනලයේ බ්‍රෙකින් නිව්ස්ය.... තුන්හුළස් නාළිකාවේ භාෂා තුනෙන්ම කියනවාය... සිදුහත් ගේ උපතේ සිට ජීවිත කතාවේ හයිලට්ස් දමනවාය....  ඒවා බලන කාන්තාවෝ හොටු පෙරනවාය... අඬනවාය...කඳුළු බොනවාය....  රත්තරන් වාහිනියේ "යශෝධරා" අඬන හැටිය.... කැමරාව වැඩි වැඩියෙන් සුසර කරන්නේ දවසකට පෙර උපන් රාහුලගේ මුහුණට සහ ඔහු මුහුණ හොවා සිටින යශෝධරාගේ ළයටය... දුක්ඛදායක මොහොතක වුවද ලැබෙන තාවකාලික සැප නිසා චැනලය මාරු කරන්නටත් බැරිය...  සූරිය නාළිකාවේ පුරවැසි දනන්ගේ අදහස් උදහස් අනුමානයන්ය... කැමරාවට කතා කරන පුරවැසියෝ ඡන්නගේ චරිත සහතික සුන්නත්දූලි කරනවාය... රජමැදුරේ කුමන්ත්‍රණ ගැන ඉඟි දෙනවාය.... නිවේදකයා දමන දමන පන්දුවට අදහස් දක්වන්නෝ හයේ හතරේ ඒවා ගහනවාය...   කොම්බු නාළිකාවත් එහෙමය... කිසාගෝතමී සමඟ සිදුහත් මතක අවුස්සනවාය... රසය කුණුය. ඒත් රසය... පූරකයාත් බලන්නෝත් තළු මරනවාය...  එකකට එකක් දෙවැනි නැත... එකක්වත් මඟ හැරිය නොහැකි මේ සියළු චැනල් බලන්නට සල්ලි සල්ලි කියා නොසිතා ටීවී දුසිමක් හමාරක්  සිටු මැදුරට ගෙන එන්නට කටයුතු නොකිරිම ගැන මුල්වරට තරුණ සිටු තුමා දුක්විය.... 

වෙනදා උදේට මෝල්ටඩ් මිලික් ෆස්ට් කප් එක දිහා බලාගෙන ඇහැරෙන  අනේපිඬුගේ බඩගින්න අද කොහේ ගියාදැයි  නැත... රේඩියෝවත් අහල බලමු... කම්මලේ බල්ලාට හෙණහඬත් නොදැනෙනාසේම අසූ අටයි දශම බින්දුවේ සිට එකසිය හත දක්වා කිසිදු චැනලයකට රජමැදුරේ නෙයියාඩම ගැන වගක්වත් නැත... උන් පැස්බරා එක්ක බිත්තර අල්ලනවාය... ලොතරැයි අදිනවාය... ගෙවල් ගානේ ගොස් සල්ලි බෙදනවාය... " අපි අහන්නේ අහවල් එෆ් එම්" කියා බෝඩ් දැමූ ගෙවල් වල ගෑණු පරාණ සමග හුරතල් වෙනවාය... බිල් ගෙවනවාය... කඩේ යනවාය... විකාරයකි.... 

"නොදෝමකිං' යැයි සිතූ සිටු තරුණයා රේඩියෝව වසා දැමුවේ ලැප්ටොපයෙන් ගුසිප් බලන අදහසකිනි... 
නිව්ස් සයිට් වලට වඩා Goosip Site ජනප්‍රිය වන්නට පටන් ගත් දා සිට සියළු ප්‍රධාන නිව්ස් සයිටුත්  බල්ලා මාක් එකට වැටුනු නිසා සිටුතෙමේ ලැප්ටොපයත් අරගෙන කාමරයටම වැද දොර වසාගත්තේ තමන් Goosip සයිට් බලන අතරතුර සහෝදරියකගේ පොඩි එකෙකු වත් ලං වුවහොත් උන්ගේ හිරි ඔතප් බිඳෙන්නට පුළුවන් නිසාය.... 
"පොඩි කෙල්ලෙක් ළඟින් බස් එකේ ගිය තරුණ කොල්ලා කරපු වැඩේ මෙන්න... - වීඩියෝ සහිතයි " කියා අන්ධයාට, ගොළුවාට, බිහිරාට වුවද නොබලා සිටින්නට නොහැකි හෙඩ්ලයින්ස් දමා අදාළ තරුණයා බස් එකේ කොන්දොස්තරගෙන් ටිකට් පතක් මිළදී ගෙන තමන්ගේ පාඩුවේ යන වීඩියෝව සහිත ප්‍රවෘත්තිය දුටුදා සිට ලැජ්ජාවට  ගොසිප් නොබලන අනේපිඬු තරුණයා අද ගොසිප් බලන්නට සිතුයේ රජ මැදුරේ මේ අලකලංචිය නිසාය.... 

හිතුවා හරිය... නිව්ස් සයිට්,  ගොසිප් සයිට් අඳුර ගන්නට බැරිය... 

"සිදුහත් යශෝදරා ගැටුම දුරදිග යයි. සිදුහත් මාළිගාවෙන් නික්මී යයි.." 

'කිසාගෝතමී-සිදුහත් පෙම් හබයක් -නිබ්බූත කවි පද වලින් සියල්ල හෙළිවෙයි... "

" රාහුල ගේ උපත රාජකීය විවාහය දෙදරා යාමට හේතුවෙයි... රාහුල සිදුහත්ගේ දරුවෙක් නොවෙයි. ගැටුමට මුල එතැනයි... " 

" පැන යන්න කළින්දා රජ මාලීගයේ සාදයක්... ඡායාරූප සහිතයි..." 

" සිදුහත් පැන යන හැටි ඇතුළත් CCTV දර්ශණ මෙන්න... වීඩියෝ සහිතයි..." 
"ඇමැතිවරු මෙච්චර ඉද්දී ඡන්නවම අරන් ගියේ ඇයි.... සිදුහත්ගේ වැඩි කැමැත්ත සුදු කොල්ලන්ටද?' 

" Exclusive; කිසාගෝතමී සිදුහත්ට රහස් පණිවිඩ යැව්වා.... කිසාගෝතමීගේ නිවසේ පැරණි සේවකයා සියල්ල හෙළි කරයි..." 

" මම තනිවුණා.... හිත්වල කෝ බං ආදරේ....." යශෝධරා මාළිගයේ වැළපෙයි.....

"පියා හැර ගිය බව නොදන්නා කිරි සප්පයාගේ අනුවේදනීය ඡායාරූප මෙන්න"

හම්මට සිරිය... දවසම කියවන්නට මේ ඇතිය.... වෘත්තයකට තිබන්නේ අංශක 360ක් වුවද මේ සිදුවීම කෝණ 500කින් දකින්නට නිව්ස් සයිට් වලට සහ ගොසිප් සයිට් වලට හැකියාව ලැබී ඇත. ඒ ටික කියවා ඉවර වෙනකොට දවල් වෙලාය... තෝන්තුවා ගිතයක් දැනෙන්නේ උදේට නොකෑ නිසා වන්නට ඇතැයි සිතූ අනේපිඬු දොර හැර ඇතුළු ගෙට ගියේය... 

කිඹුල්වත් පුරයේ නිවෙස් වල ලිප ගිනි මැකී, හිරුද පායා නැති අඳුරු මූසල දවසක සිටු තුමාගේ ගෙදරද දැසි දස්සන් හැඬූ කඳුළින් තැන් තැන් වලය... තමාම කුස්සියට ගොස් ඉන්ස්ටන්ට් නූඩ්ලස් පැකට්ටුවක් තම්බා ගෙන කෑ අනේපිඬු යළිත් සාලයට ගොස් දහවල් ප්‍රවෘත්ති බලන්නට සෙට් වුනේය... 

ගෙදරටම අත්තේ එක් ටෙලිවිෂනයක් නිසා ප්‍රවෘත්ති නාලිකාව තෝරාගන්නට තුණ්ඩු  දමනවාද,  නැත්නම් ඉරි අල්ලනවාදැයි කල්පනා කළ අනේපිඩු අවසානයේ සියල්ලට ෆස්ට් සහ සියල්ලට උඩින් ඇති නාලිකා දෙක මාරුවෙන් මාරුවට බලන්නට සිතුයේය..

නමට ප්‍රවෘත්ති වුවද ඒවා බලු පොර වගේය... කැමරාවේ එක් අන්තයෙකින් දත් විලිස්සාගෙන පනින බල්ලෙකි... මොහොතකින් අනෙක් අන්තයෙන් මතුවන්නේද ඒ ජාතියේම එකෙකි... තමාට  ජලභීතිකා එන්නත විද ඇති බව යළි තහවුරු කර ගත් අනේපිඩු සිටානෝ කෝකටත් කියා  සැටියේ හරිබරි ගැසී දෙකකුල්ද පුටුව උඩම හොවා ප්‍රවෘත්ති බැලීමට කටයුතු කලේය... 

කෝලිය වංශිකයෝ සුප්‍රබුද්ධ රජමැදුර ඉදිරිපිටට එක්රැස් වී උද්ඝෝෂණය කරන්නෝය... ඔවුන් සුද්ධෝදන රජුට බැණ අඬගසමින් උද්ඝෝෂණය කරති. සුද්ධෝදන රජුගේ අනුරුවකට ගිනි තබති... "යශෝධරාට කළ අවමානය අපි ඉවසන්නේ නෑ... පැය 48ක් ඇතුළත මේක නිවැරදි නොකළොත් අපි සුද්ධෝදන රජ මැදුර වටලනවා..." උද්ඝෝෂකයෝ කෑ ගසති... "සිදුහත් කෝලිය වංශිකයින්ට පරිභව කළා...." 'මහමායා දේවියත් අපිට නැති කලා... දැන් යශෝධරාව තනි කළා...." "කාන්තා  සංවිධාන නිදිද? - යශෝධරා වෙනුවෙන් කතා කරන්න බැරිද?"  ගැටළු ගොඩකි.... 

ඊළඟට සුද්ධෝදන රජතුමාගේ මාධ්‍ය ප්‍රකාශකගේ මාධ්‍ය හමුවය... උපරිමව සංයමයෙන් සිද්ධිය පහදන්නට තැත් කරන ඔහුට මාධ්‍යවේදීන්ගේ කිසිදු සහයක් ලැබෙන්නේ නැත. ෆුල්ටොස්ම යවා  හයක් හතරක් ගසා "වොයිස් කට්" එකක් පන්නාගන්නට හැමෝගේම ට්‍රයි එකය... එක ගොසිපක්  ගහ ගත්තාම ලැබෙන ගතමන්ට් එක දන්නේ "ප්‍රෙස්" කවර් කරන ජර්නලිස්ට්ලාම පමණි... අනේපිඩු මේවා නොදන්නා නිසා අග සිට මුලට බලා සිටින විට නොදැනීම කටත් ඇරිලාය.... 

ඊළඟට ජාත්‍යන්තර මානව හිමිකම් එකේ නිවේදනයකි... උන්ටත් ඇති වැඩක් නැත. ඇමෙරිකාවේ හත්පොලේ ගූ ගාගන්නා වැඩ නොපෙනෙන එවුන්ට මෙහේ පඩයක් ගියත් ගඳය... යශෝධරාට සිදුවු අසාධාරණය ගැන යශෝධරාටත් කළින් කෑ ගහන්නේ උන්ය... මේ  කිසිත් නොදන්නා අහිංසක යශෝධරා  නෑඹිලියකට කඳුළු එකතු කරමින්  "යශෝධරාවත" ලියන්නට පුස්කොළ කළු මදින්නට අඩුම කුඩුම එකතු කරද්දී  ජාත්‍යන්තර සංවිධාන යශෝධරා වෙනුවෙන් කඳුළු සළන හැටි අනේපිඬු බලා සිටියේය.



ප්‍රවෘත්තියේ උද්වේගජනකම මොහොත උදාවූයේ "පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා" කරළියට පැමිණි විටය... "අපි මේ වෙන කොට බලවත් පරිශ්‍රමයක් යොදල මේ කුමන්ත්‍රණයට දායක වුණු "ඡන්න" ඇමැතිව අත්අඩංගුවට අරං තියෙනවා... රජ මාළිගයෙන් අවසරයකින් තොරව කන්ථක අශ්වයාව රැගෙන ගියා කියල ඔහු දැනට පිලි අරන් තියෙනවා.. ඒ නිසා රාජ්‍ය දේපොළ අවභාවිතාවට ලක්කලා කියන චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව FCID පරීක්ෂණයක් කරනවා... ඔහු ළඟ තිබිලා කඩුවක් අත් අඩංගුවට අරන් තියෙනවා... ඒකේ කෙස් කොට තියෙනවා... මේ කෙස් කොට කාගෙද කියල ජාන පරීක්ෂණයකට යොමු කරනවා... තහවුරු නොකළ ආරංචි මාර්ග වලින් දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව වෙස් මාරු කළ  සිදුහත් කුමරු නේරංජනාවෙන් එතෙර මහ වනාන්තරයට ගිහින් තියෙනවා... කළින් රජ මාළිගාවෙ පුරෝහිත ධූරයෙන් ඉවත්වුණු කොණ්ඩඥ්ඤ තවුසා ගේ වුවමනාවකට මේ දේ සිද්ධ වුණෘ කියල තමයි රජතුමා සැක කරන්නේ....  නේරංජනාවෙන් එහාට නොවෙයි සක්වල ගලෙන් එහාට ගියත් අපි ඔහුව හොයාගෙන සුද්ධෝදන රජුට එරෙහිව කළ මේ කුමන්ත්‍රණයට අදාළව ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා...." 

"හම්මට සිරි... මේ යකා සුළු පටු ගේමකට නොවෙයි ලෑස්ති වෙලා තියෙන්නේ..." කියා සිතමින් උඩට ගත් හුස්ම පහළට දැමූ අනේපිඬු සිටුවරයා කෙටි නින්දකින් පසු නඟර ව්‍යාපාරිකයින්ට පොලියට දුන් මුදල් වල "ඩේලි කලෙක්ෂන්' එකතු කරන්නට එළියට බැස්සේය... 

දහසක්  වැඩකටයුතුද රාජකාරීන්ද එකකට එකක් පසුපස එන නිව්ස ඇලර්ට් ද සමඟ සාමාන්‍ය වූ ජන ජිවිතයට දවසකට දෙකකට පසු සිදුහත් කුමරාගේ පැනය අමතකව ගියේය... අනේපිඬු සිටු තුමාටද එය එසේම පොදු විය... 

සතියකට දෙකකට පසු දිනයක කිසියම් කාර්ය බහුල මොහොතක යළි පැමිණි නිව්ස් ඇලර්ට් එකක මෙසේ සඳහන් විය.... "තවුසෙකු ලෙස වෙස් මාරු කර සිටි සිදුහත් කුමරු පොලීසියෙන් සොයාගනී. -- රත්තරන් චැනල් නිව්ස්"

ජනමාධයයේත්, ජඩමාධ්‍යයේත්, මානව හිමිකම් ආයතන වලත්, රාජ්‍ය නොවන සංවිධාන වලත් මැදිහත් වීමෙන් අවසානයේ "සිදුහත් බුදුවුණේ නැත....

-------------------------------------------------------------------------------------------------

 "Email: outofboxsrilanka@gmail.com

Comments