අපට ඕන විපක්ෂයක්! රටට ඕන විපක්ෂයක්!


පිටකොටුවේ චූලවංශ ට බ්ාලාග් සටහන් ලියන්නට අවකාශයක් නොලැබෙන්නේ රටේ ආර්ථික අපහසුකම් චූලවංශටද පවුලේ අයටද දැනෙන්නට පටන් අරගෙන ඇති නිසාය. ඒ නිසා එළිවූ මොහොතේ සිට රෑ බෝ වන තුරු මුදල් සොයා වෙහෙසීමට චූලවංශටද සිදුවී තිබේ. එහෙත් මේ මොහාතේ රටේ දේශපාලන තත්වය ගැන චූලවංශගේ මතය ගැන කියන්නට චූලවංශට තිබෙන බලවත් උවමනාව නිසා 2011 අගෝස්ත= 19වන දින පළවූ දිවයින පුවත්පතේ ඇතුළත් නිරෝෂන් හැඳලගේ ලියූ මෙම ලිපිය ඇතුළත් කරන්නේ එය චූලවංශගේ සිතේ ඇදි විග්‍රහයට බොහෝදුරට සමාන නිසාය.




ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය අලුත් කළ සිදුවීම් පෙළක්‌ පසුගියදා එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානය වූ කෝට්‌ටේ සිරිකොත මන්දිරය සිට විපක්‍ෂ නායක කාර්යාලය දක්‌වා පෙළ ගැසෙන අයුරු දැකගත හැකි විය. පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහට බල කරමින් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ලිමේන්තු මන්aත්‍රීවරු පිරිසක්‌ සහ පාක්‍ෂිකයන් විශාල පිරිසක්‌ එක්‌ව මෙහෙයවන ලද මෙම උද්ඝෝෂණය මෙරට දේශපාලනයට හා දේශපාලකයනට පාඩම් රැසක්‌ කියා දුන් සිදුවීමක්‌ ලෙස සඳහන් කිරීමේ වරදක්‌ නැත.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළ වන මෙම අර්බුදය එම පක්‍ෂයේ විනාශය පෙන්වන්නක්‌ ලෙස නොව සමස්‌තයක්‌ ලෙස රටේ විනාශය ඇරැඹීමේ මූලික ලකුණු පහළ වීමක්‌ ලෙස ගෙන විග්‍රහ කළේ නම් වඩාත් සපලදායක ය. මන්ද එක්‌සත් ජාතික පක්‍ෂය තවමත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය ද වන හෙයිනි.

පරාභවය

එක්‌සත් ජාතික පක්‍ෂය පිරිහීමේ ලකුණු පහළ වුයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ඇරැඹීමත් සමග අද ඊයේ යෑයි කීම වැරැදි ය. ජන පීඩක ඕනෑම පක්‍ෂයකට අත්වන ඉරණමට පක්‍ෂයක්‌ ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය අද මුහුණ දී සිටින බව පැහැදිලි කාරණයකි. මීට ඉහත ද සඳහන් කළ පරිදි එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිහීම ආරම්භ වූයේ 1977 පටන් ඡේ. ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ ය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී හයෙන් පහක බලයක්‌ සහිතව ජයග්‍රහණය කර බලයෙන් උමතු වූ ඡේ. ආර්. ජයවර්ධන අගමැතිවරයාට පූර්ණ බලතල සහිත ජනාධිපතිවරයකු වීමේ සිහිනය ව්‍යවස්‌ථා සම්පාදනයේ දී අනුගමනය කළ යුතු පිළිගත් ප්‍රතිපත්ති හා ශිෂ්ට ක්‍රියාමාර්ග ද අමතක කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනකුට සීමා වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු විපක්‍ෂ යද ඒ මොහොතේ කාන්තාරයක්‌ බවට පත්ව තිබීම හේතුවෙන් රටේ ජනතාව අදටත් විඳවන අර්බුද රැසක මූල බීජ වපුරමින් අගමැති ඡේ. ආර්. ජයවර්ධන රජ වූයේය. එතැන් පටන් සිදු වූ තවත් විනාශයක්‌ නම් පක්‍ෂය ද රජය ද එකක්‌ ලෙස ගෙන කටයුතු කිරීමට අපේ දේශපාලකයන්ට නරක පූර්වාදර්ශයක්‌ ලැබීමය.

ඡේ. ආර්. ජයවර්ධන සකසා දුන් පිටියේ හොඳින්ම ක්‍රීඩා කළ පිතිකරුවා වූයේ ආර්. ප්‍රේමදාසය. ඔහු රටේ ප්‍රජාන්ත්‍රවාදය පමණක්‌ නොව නීතිය ද අතට ගෙන රටේ අනාගතය අති භයානක තැනකට ගෙනැවිත් නික්‌ම ගියේය. එජාපයේ දාහත් වසරක එම අශිෂ්ට පාලන සමය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ට සිහසුන පළඳවන්නට තරමට ජනතාව පීඩාවට පත් කළ පාලන සමයක්‌ ලෙස හැඳින්වීමේ දොසක්‌ නැත. පසුව රනිල් වික්‍රමසිංහට රට පාලනයට අවස්‌ථාවක්‌ උදා වූයේ 2001 වර්ෂයේ දීය. වික්‍රමසිංහ ඊට පෙර සිටි එක්‌සත් ජාතික පක්‍ෂ නායකයන්ට වඩා වෙනස්‌ වූයේ රටේ ජනතාවට, නුහුරු රාජ්‍ය හා දේශපාලන ප්‍රතිපත්තියකට මුල පිරීමේ හේතුව නිසාය. අතිශය බටහිරකරණය වූ එම එළඹුම එක්‌සත් ජාතික පක්‍ෂයේ පාලන කාලය දෙවසරකට සීමා කරන්නට විය. එම දෙවසරක කාලයේ දී රටේ සංවේදීම ප්‍රශ්නය බවට පත් වූ උතුර නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ඔහු ගත් ආන්දෝලනාත්මක තීන්දු තීරණ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදී ව්‍යාපාරය වඩාත් ශක්‌තිමත් කරන්නක්‌ වීමට හේතු වු බවට තර්කයක්‌ නැත. පැසිස්‌ට්‌වාදී වර්ගවාදී ත්‍රස්‌ත සංවිධානයකට නීත්‍යානුකූල භාවයක්‌ ලබා දීමත්, රට දෙකඩ කර වෙනම රාජ්‍යයක්‌ පිහිටු වීමට අවශ්‍ය යටිතල පහසුකම් පමණක්‌ නොව එල්. ටී. ටී. ඊ. යේ සන්නද්ධ බලය වැඩි කරන අවි ආයුද හා සන්නිවේදන උපකරණ රැස්‌ කිරීමට අවශ්‍ය ඉඩකඩ සැලසීමත් වික්‍රමසිංහ පාලන සමයේ සිදු වූ සමාව දිය නොහැකි වැරැදිය.

මේ හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ය ඒකපාර්ශ්වික යුද්ධයකට එළැඹ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් එකිනෙකා මරා දමද්දී එවකට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා වූ ජෝන් අමරතුංග පැවසුවේ ඔවුන් බුද්ධි අංශ සාමාජිකයන් බව හෙළිවීමෙන් පසු ඔවුන්ගෙන් ඵලක්‌ නොවන බව වැනි වහසි බස්‌ය. එපමණක්‌ ද නොව රටේ පාරිභෝගික භාණ්‌ඩ මිල පාලනයට රජය සතු එකම යාන්ත්‍රණය බවට පත්වූ සමුපකාර තොග සංස්‌ථාවේ අලෙවි අංශය විකුණා දමා ඊට අයත් වූ දේපළ ද විනාශ කර දැමූ පාලන සමය වික්‍රමසිංහ පාලන සමය ලෙස ඉතිහාසගත වෙයි. පුදුමයට කාරණයක්‌ නොවන්නේ රට ආපස්‌සට ගෙන යැමට කටයුතු කළෝ අද වික්‍රමසිංහ මහතා සමග එක පිලක්‌ වී සිටීමය.

අසමත් විභාගය

ඉහත කාරණාවලට අමතරව 2003 වර්ෂයේ පටන් අද දක්‌වා මැතිවරණ විස්‌සකට ආසන්න ප්‍රමාණයකට නායකත්වය දී පරාජයට පත්වීමට සිදු වීම ද එක්‌සත් ජාතික පක්‍ෂය කෙරේ පාක්‍ෂිකයන් කලකිරීමට හේතුවක්‌ වන්නට ඇත. තමන්ගේ දේශපාලන හැදෑරීම කුමක්‌ වුව ද ප්‍රායෝගික දේශපාලනයේ දී ජනතාවගේ දේශපාලනය හඳුනාගත නොහැකි වේ නම් එබඳු අයකු නායකයකු වන්නේ නැත. හිටපු අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ඒ බව හොඳින්ම තේරුම්ගත් නායකයෙකි. එංගලන්තයේ ඔක්‌ස්‌µර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණිය ද හිතට එකඟ දේශපාලනයට වඩා රටට එකඟ දේශපාලනය ඔහු වහා හඳුනා ගත්තේය. රනිල් වික්‍රමසිංහ අසමත් වූයේ ද ඒ විභාගයෙන් ය. අසමත් විෂයකින් වෘත්තීය තේරා ගන්නට යන කාටත් අත්වන ඉරණම අද රනිල් වික්‍රමසිංහට අත්ව ඇත. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් අද මෙය විග්‍රහ කරනුයේ බිම් මට්‌ටමේ දේශපාලනය කියාය. සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක වීමට උත්සාහ කරනුයේ ද බිම් මට්‌ටමේ දේශපාලනයේ බව ඔහු කරන කියන දෙයින් පැහැදිලි වෙයි. වික්‍රමසිංහට බිම් මට්‌ටමේ දේශපාලනයට පැමිණිය නොහැක්‌කේ ඔහු උපතින්ම මේ රටේ ඉහළ සමාජ පංතියකට උරුමකම් කියන අයකු නිසා බව පාක්‍ෂිකයන්ම කරන චෝදනාවකි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සැලකිය යුතු පිරිසක්‌ නායකත්වයේ අනම්‍යශීලී ප්‍රතිපත්ති හමුවේ කලකිරී ආණ්‌ඩු පක්‍ෂය හා එක්‌වද්දී පක්‍ෂය තුළ අර්බුදයක්‌ වන බව ඒ මොහොතේ දී හෝ තේරුම් ගෙන පිළියම් යෙදීමට පියවර නොගෙන නිද්‍රාශීලී ප්‍රතිපත්තියක සිටීම ද නායක වික්‍රමසිංහට එරෙහි කණ්‌ඩායමක්‌ පක්‍ෂය තුළම බිහිවන්නට හේතුවක්‌ විය. මුල් අවස්‌ථාවේ දීම එම කණ්‌ඩායම සමඟ සහජීවන ක්‍රියාමාර්ගයකට නොඑළැඹ ව තමන්ට හිතවත් පිරිසක්‌ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කොට තමන්ට එරෙහි වන්නන් නිහඬ කළ හැකියෑයි කල්පනා කිරීම වික්‍රමසිංහ වරද්දාගත් තවත් තැනකි. එසේ බලන කල පක්‍ෂය තුළ දෙපිලක්‌ හැදීමේ චෝදනාවෙන්ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහට නිදහස්‌ විය නොහැක.

සුද්දියකට ඔසරි ඇන්දවීම

2005 ජනාධිපතිවරණය වික්‍රමසිංහ මහතාට තමන්ගේ අනන්‍යතාව සිහිපත් කළ මැතිවරණයක්‌ යෑයි කීමේ වරදක්‌ නැත. ඔහුගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂ ජාතික ඇඳුමින් සැරසී සිටීමත් කුරහන් සාටකයක්‌ පැළඳීමත් ඒ හැමටම වඩා උඩු රැවුලක්‌ සහිතව සිටීමත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අමතර ජවයක්‌ එක්‌ කළේය. ඉතා සාර්ථක මෙන්ම සූක්‍ෂම දේශපාලන සන්නිවේදන උපක්‍රම භාවිත කළ ප්‍රතිවාදී රාජපක්‍ෂ රනිල් වික්‍රමසිංහ අතරමං කළේය. 1999 ජනාධිපතිවරණයේ දී ටී ෂර්ටයකින් සැරසී සිනමා නළුවකුගේ පෙනුමට තම මැතිවරණ ප්‍රචාරක පෝස්‌ටර පවා සැකසූ වික්‍රමසිංහට 2005 මැතිවරණයේදී පරාක්‍රමබාහු රජුගේ පිහිට පතන්නට සිදු විය. සිංහල බෞද්ධකම, රටේ ඉතිහාසය, සිංහල උපහැරණ තම මැතිවරණ කතාවල අඩුවක්‌ නොකරන්නට ඔහු වගබලා ගත්තේය.

එහෙත් මේ බොහෝ කාරණා වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය ශක්‌තිමත් කරනවාට වඩා ප්‍රතිවාදියාට වාසි ගෙනදුන් බව කවුරුත් දන්නා කාරණයකි. තමන්ගේ සමාජ තත්ත්වය දේශපාලනයට බාධාවක්‌ කර නොගන්නා ආකාරය තම පක්‍ෂයේම පුරෝගාමී නායකයන් වූ ඩඩ්ලි සේනානායක, කොතලාව වැන්නන්ගේ ජීවිතවලින් හෝ උගත්තේ නම් වික්‍රමසිංහ මහතා බොරු වළවල්වල වැටෙන්නේ නැත.

ඡන්ද පදනම

එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ තනි පක්‍ෂයක්‌ ලෙස බහුතර ඡන්ද බලයක්‌ සහිත පක්‍ෂයක්‌ බවට තර්කයක්‌ නැත. 1994 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩු බලය ලබා ගත්තේ ද පොදුජන එක්‌සත් පෙරමුණ නමින් සන්ධානගතව පක්‍ෂ රැසක සහායෙනි. එතැන් පටන් අද දක්‌වා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තනි පක්‍ෂයක්‌ ලෙස මැතිවරණය ට තරග කළේ නැත. අද මහින්ද රාජපක්‍ෂ රජය බහුතර බලයක්‌ ලබා සිටින්නේ ද එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයෙන් කොටසක්‌ කඩාගෙන ය. (එජාපය ඒ තත්ත්වයට පත් කිරීමට නායක රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බවට ඉහතින් සඳහන් කෙරිණි). ඒ අනුව බලනවිට තනි පක්‍ෂයක්‌ ලෙස රටේ ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත දිනා ගැනීමට තරම් එක්‌සත් ජාතික පක්‍ෂය තුළ ආකර්ෂණයක්‌ වූ බව අමතක කළ යුතු නැත. එහෙත් 2010 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයකු ලෙස ජෙනරාල් සරත් ෙµdන්සේකාට සහාය පළ කිරීමට වික්‍රමසිංහ තීරණය කළේය. එය පක්‍ෂයේ පොදු තීරණයක්‌ නොවූ බවත් ඒ හේතුවෙන් පක්‍ෂය තුළ යම් දෙදරා යැමක්‌ ඇති වූ බවත් කවුරුත් දනිති.

ඒ මැතිවරණයේදී සිදු වූයේ ද 2005 මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂට සිදුවූ දෙයමය. 2005 ජනාධිපතිවරණයේදී තම පක්‍ෂයේ අපේක්‍ෂකයා වුවත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්‍ෂට කිසිදු සහයෝගයක්‌ දුන්නේ නැත. මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළේ ජනතා විමුක්‌ති පෙරමුණේ කරමතින් ගොස්‌ බව නොපිළිගන්නට හේතුවක්‌ නැත. 2010 දී ද සරත් ෙµdන්සේකාට පොදු අපේක්‍ෂකයා ලෙස සහාය පළ වූයේ ජනතා විමුක්‌ති පෙරමුණෙනි. එක්‌සත් ජාතික පක්‍ෂයේ බොහෝ දෙනා කළේ පක්‍ෂය උකස්‌ කළැයි වික්‍රමසිංහට චෝදනා කර "ෂේප්" වීමේ න්‍යාය අනුගමනය කිරීමය. එහෙත් අවසානයේ වික්‍රමසිංහ මහතා ජයගත්තේ ය. ඒ සරත් ෙµdන්සේකා පරාජය වී වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය බේරා දීම නිසාය.

එම මැතිවරණයේදීද සරත් ෙµdන්සේකාට ලැබුණු ඡන්දවලින් බහුතරයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡන්ද පදනම හේතුවෙන් ලැබුණු බවය ඇත්ත කතාව. රටේ සංවේදීම ප්‍රශ්නයට සාර්ථක විසඳුමක්‌ ලබාදුන් මහින්ද රාජපක්‍ෂ තරග බිමට එළැඹියේම ජයග්‍රාහකයකු ලෙස වුවත් පොදු අපේක්‍ෂකයා ද එම ජයග්‍රහණයේ සම දායකයකු වූ හෙයින් තරගය වඩාත් උණුසුම් විය. ඒ උණුසුමට හේතු වූයේ ද එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡන්ද පදනම බව කීම හිතලුවක්‌ වන්නේ නැත.

එහෙත් පසුගිය දා අවසන් වූ පළාත් පාලන මැතිවරණය වන විට එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡන්ද පදනම සැලකිය යුතු මට්‌ටමකින් අඩුවීමත් දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන දහඅටක්‌ ජයග්‍රහණය කරද්දී එක්‌සත් ජාතික පක්‍ෂය එකදු ආයතනයක්‌ හෝ ජයග්‍රහණය නොකිරීමත් පක්‍ෂ අභ්‍යන්තරයේ අර්බුදය තවත් උත්සන්න කළේය.

පක්‍ෂයේ ඡන්ද පදනම එබඳු අනතුරක තිබියදීත් පක්‍ෂය තුළ පැහැදිලි ප්‍රතිසංස්‌කරණයක්‌ විය යුතුව තිබියදීත් වික්‍රමසිංහ සිය නායකත්වයේ වගකීම් තේරුම්ගෙන වහාම ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට නොතිබිණි. එහි අවසාන ඵලය වූයේ පක්‍ෂය තුළ එකිනෙකාගේ විශ්වාසය කඩවීම පමණි. තම නායකයාට විරුද්ධව වීදි බසින්නට වූ පක්‍ෂ සාමාජිකයන්ටත් නායකත්වය අභියෝගයට පමණක්‌ නොව උපහාසයට ලක්‌ කරමින් ක්‍රියා කළ පාක්‍ෂිකයින් සමඟ පක්‍ෂ නායකත්වයටත් යළි එකට වැඩ කිරීමට හැකිවේදැයි සිතෙන තරමට සිත් රිදවීම් සිදුවී හමාරය. මේ දෙපිරිස එකිනෙකා කෙරේ ගෞරව කිරීමට සූදානම් වන පමණට එක්‌සත් ජාතික පක්‍ෂයේ අර්බුදයට විසඳුමක්‌ ලැබෙනු ඇත.

විපක්‍ෂය දුර්වල වීම හා රටේ අනාගතය

මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව යුද්ධය සාර්ථකව කළ බවට තර්කයක්‌ නැත. ඒත් යුද්ධයක්‌ අවසන් වීම ම රටක ප්‍රගමනයට හේතුවන්නේ නැත. ඒ සඳහා නිවැරැදි හා පාරදෘෂ්‍ය වූ ආර්ථික කළමනාකරණයක්‌ තිබිය යුතුය. ආණ්‌ඩුව ඒ සඳහා සමත් බව පෙන්වීමට මෙතෙක්‌ කටයුතු කර නැත. යුද්ධය පැවැති සමයේ වසරකට රුපියල් කෝටි හාරදහසකට වැඩි මුදලක්‌ යුද්ධය සඳහා වෙන් කෙරිණි. යුද්ධය අවසන්ව වසර දෙකකට වැඩි කාලයක්‌ ගෙවී ගොස්‌ ඇතත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ශීලාචාර කිරීමට මේ ආණ්‌ඩුව කිසිදු උනන්දුවක්‌ නැත. බරපතළ කාරණයක්‌ වූයේa වසරක පමණ කාලය යන තුරුත් රජයේ විඝණකාධිපති තනතුර හිස්‌ව තිබීමය. (පසුගියදා එම තනතුර ප්‍රතිපූර්ණය කර ඇත) එය රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නකාරී තත්වයකි. වන්දිබට්‌ටයන් අටුවා ටීකා සැපයුව ද හෙජින් ගනුදෙනුව ද ඇත්තේ ස්‌ථිර විසඳුමක්‌ නොලැබුණු තැනකය. බාල සිමෙන්ති, බාල තෙල් ගෙන්වීම් ද අවසානයේ නවතිනු ඇත්තේ හෙජින් නැවතුණු තැනම ය. ලංකා විදුලිබල මණ්‌ඩලය මසකට රුපියල් කෝටි තුන්සිය පනහක්‌ පාඩු ලබන්නේය. මේ සියල්ලටම වඩා ආණ්‌ඩුවට ආවඩමින් රාජ්‍ය දේපළ කෝටි ගණනින් ගණිකා වෘත්තීයේ යොදවන්නන් නිසා වන විනාශය ගණනය කළ නොහැකි තරම්ය. මේ සියල්ල රජයේ අවිනීත කළමනාකරණය හේaතුවෙනි.

විපක්‍ෂය දුර්වල වීමේ ප්‍රතිඵලය වනුයේ මෙබඳු ආකාරයේ රාජ්‍ය දූෂකයන්ට ඉණිමං ලැබීමය. එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය රාජ්‍ය දූෂණයට උඩගෙඩි දෙන්නකැයි චෝදනා නැගෙනුයේ ද මේ හේතුවෙන් ය. පෙරේදා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිට පාක්‍ෂිකයන් පැවැත්වීමට සූදානම් වූ උද්ඝෝෂණය වාරණ නියෝගයකින් තහනම් කරවීමත් සිරිකොත මූලස්‌ථානය ඉදිරිපිට මාර්ගය එදින හදිසියේ වසා දමා මාර්ගය ප්‍රතිසංස්‌කරණයට පියවර ගැනීමත් වික්‍රමසිංහ රජය සමඟ එබඳු එකඟතාවක සිටිනවාදැයි ජනතාව තුළ කුකුසක්‌ උපදවන්නක්‌ වනු වැළැක්‌විය නොහැක.

කෙසේ වුව ද එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක්‌ විය යුතු බවට අරගල කරන කණ්‌ඩායම පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංවීමට පෙරේදා සංවිධානය කළ උද්ඝෝෂණය දැනට නිර්වින්දනය වී ඇති විපක්‍ෂයත්, එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය ප්‍රකාශ කළ ජනතාවත් උත්තේජනය කරන්නක්‌ වූ බව කිව යුතුය. මෙම සටහනේ සමස්‌තයක්‌ ලෙස විග්‍රහ කෙරෙන ආණ්‌ඩුවට දැනෙන බලපෑමක්‌ කළ හැකි විපක්‍ෂයක්‌ ගොඩනැඟීමට මෙය ඉතා හොඳ ප්‍රවණතාවක්‌ ලෙස හඳුන්වාලිය හැක.

මේ අවස්‌ථාව එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද තමන් පිළිබඳ පසු විපරමක යෙදීමට ලැබුණු හොඳ අවස්‌ථාවකි. තම පක්‍ෂයට සහාය පළ කරන බහුතර ජනතාවගේ කැමැත්තට ඉඩ තබා පක්‍ෂය ආරක්‍ෂා කරනවා ද එසේත් නැතිනම් තමන්ට සහාය පළ කරන සුළුතර කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන්ගේ කැමැත්තට ඉඩ දී පක්‍ෂය විනාශ කරනවා ද යන තීන්දුව ඇත්තේ වික්‍රමසිංහ මහතා අතය.

ඒ පිළිබඳ වහා තීන්දුවක්‌ ගෙන ප්‍රබල විපක්‍ෂයක්‌ සඳහා මාවත විවර කරලීමට කල්මැරීම රට තුළ දේශපාලන ඒකාධිකාරයක්‌ හා ඒකාධිපති පාලනයක්‌ සඳහා වන එළැඹුමක්‌ වනු ඇත. මේ වන විටත් බලය කේන්ද්‍රගත වූ තත්ත්වයක පවතින මේ ආණ්‌ඩුව පාර්ලිමේන්තුව තුළින් හෝ පාලනය නොවේ නම් මේ රට තවත් උගන්ඩාවක්‌ ලෙස ලෝක සිතියමේ සටහන් වනු ඇත.
Email: outofboxsrilanka@gmail.com

Comments

  1. "මේ රට තවත් උගන්ඩාවක්‌ ලෙස ලෝක සිතියමේ සටහන් වනු ඇත"

    ඔබගේ ප්‍රකාශයට මම සම්පුර්නයෙන්ම එකග වෙනවා,මොකද ආන්ඩුවට අසීමිත බලයක් ලෑබීම යනු අතිශයින්ම බයානක දෙයකි මක්නිසාදයත් බලය පාවිච්චි කිරීම සත් ආකාරයෙන් වනවාද යන්න සොයා බෑලිය නොහෑකි නිසාය,මෙම කරුන ප්‍රශ්න කිරීමට අනිවාර්යෙන් ශක්තිමත් විපක්ශයක් තිබිය යුතුයි,නමුත් අපට නෑත්තේද එයයි...

    ReplyDelete

Post a Comment