දිවි නැගුමෙන් දිවි දිනන්නට දුප්පතුන්ට හැකිවේද?

"දිවි නැගුම" රජයේ අලුත්ම ව්‍යාපෘතියයි.පවුල් ඒකක දස ලක්ෂයකගේ ජිවන මාර්ග ගොඩනැගීම එහි අරමුණයි. පවුල් ඒකක දසලක්ෂයක් යනු මෙරට ජීවත්වන සමස්ථ ජනගහණයෙන් සැලකූ කළ ප්‍රතිශතයක් ලෙස 25%ක්ඉක්මවනු ඇත.එවිට අපට අපේක්ෂා කල හැක්කේ තවත් අවුරුදු දෙක තුනක් ඉක්ම ගිය කළ අපට හමුවන පුද්ගලයන් සෑම හතර දෙනෙකුගෙන් අයෙකුම රජයේ "දිවි නැගුම" නිසා ජීවිතය ගොඩ දා ගත් අයෙකු වනු ඇති බවයි. බාහිරව බැලූ කළ එය හොද අරමුණක් ඇති හොද යෝජනාවකි.එහෙත් අප විසින් විමසිය යුතුව ඇත්තේ 1977 දී එදා ජේ.ආර්. ජයවර්ධනයන් ගේ රජයේ තේමාව වූ "ධර්මිශ්ඨ සමාජයක්" මේ වන විට බිහිවී ඇද්ද යන්නයි.එය එසේ වූවා නම් අද වන විටද අපේ ගම් නගර වල පස්පවට අදාළ කිසිදු සිද්ධියක් සිදු නොවනවා සිකුරුය.එහෙත් නැවත නැවතත් ඒ අරමුණම මුදුන් පමුණුවා ලීමට "පිළිවෙතින් පෙළගැසෙමු" කියමින් 2600වන සම්බුද්ධ ජයන්තිය සැමරීමට අපට සිදුවී ඇත. 1987 දී ආර්.ප්‍රේමදාසයන් ගෙන ආ "වසර 2000දී සැමට සෙවණ" හා 1981 දී ඇරඹුනු "ගම්උදාව' සංකල්පය අනුව අද වන විට නිවාසයක් නොමැති කිසිවකුත් සිටිය යුතු නැත.එහෙත් වත්මන් රජයද නිවාස "ජනසෙවණ" වැනි නිවාස යෝජනා ක්‍රම ඉදිරිපත් කරන්නේ එය එසේ නොවූ නිසාය.2004 බිහිවූ චන්ද්‍රිකා රජයද "ජන උදාව" නමින් නිවාස ව්‍යාපෘතියක්ද,
එවකට ධීවර ඇමති වරයා වූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ධීවරයින් වෙනුවෙන් වෙනම නිවාස ව්‍යාපෘතියක්ද පවත්වාගෙන ගිය අතර එයින්ද මේ නිවාස ප්‍රශ්ණය නිමාවූයේ නැත.

එසේම 1989 ආර්. ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ සටනේදී ප්‍රකාශ කළේ එතෙක් ක්‍රියාත්මක වෙමින් පැවති දිළිදු සහන දෙපාර්තමේන්තුව මගින් වසරකට වරක් දිලිදු ජනතාවට ලබාදුන් ආහාර හා භූමිතෙල් සහනාධාර වෙනුවට "ජනසවිය" නමින් වඩා ඵලදායක දිළිදු සහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවකි. "නැති බැරි අය ඇති හැකි අය කරමු" නම් වූ ආකර්ශණිය තේමා පාඨයකින් හදුන්වා දුන් එහි ප්‍රකාශිත අරමුණු අනුව වසර දෙකක් ආධාර ලබන පවුලක් තෙවැනි වසර ඇරඹුමේදී රුපියල් 25000ක බැංකු තැන්පතුවක්ද සහිත අභිමානවත් පවුලක් බවට පත්වේ.එකල හැටියට රුපියල් 25000ක් යනු වත්මනෙහි හැටියට රුපියල් ලක්ෂ 3ක පමණ වටිනාකමක් ඇති මුදල් ප්‍රමාණයකි. ඒ අනුව එවැනි පවුලකට තෙවැනි වසරේ සිට ත්‍රිරෝද රථයක් හෝ වෙනත් නිෂ්පාදන කර්මාන්තයක් අරඹා ජීවිතය දිනන්නට හැකියාව ඇති බව "ජනසවිය" ගැන විචාර විවාද වලදී රජයේ පාර්ශව වලින් පෙන්වා දුන් අපේක්ෂා සහගත පිළිතුරු විය. එහෙත් වසර තුනක් අවසානයේ රුපියල් 25000ක් සිය බැංකු ගිණුමට බැරවී තිබුණු එකදු හෝ ජනසවි ලාභියෙකු නොසිටි බව 1993 -94 සමයේ පළවි තිබූ රාවය හෝ යුක්තිය පුවත්පතක විශේෂාංගයක් පිළිබදව චූලවංශට මතකය.එදා එයට අභියෝගයක් පැවති රජය මගින් මතු නොවූ අතර එය විවේචනය කරමින් පසුව බලයට පැමිණි චන්ද්‍රිකා රජය "සමෘද්ධි" නමින් දිළිදු සහන වැඩපිළිවෙලක් ආරම්භ කළ අතර එය අදද වසර 17ක් තිස්සේ ක්‍රියාත්මකය.එදා සිට පැවැති "දිළිදු සහන මුද්දරයෙන්","ජනසවියෙන්" හෝ "සමෘද්ධි"යෙන්
අපේක්ෂිත අරමුණු ඉටු වූවානම් අද දවසේ "දිවි නැගුමෙන්"ගොඩ ගන්නට රටේ සමස්ථ ජනගහනයෙන් හතනේ එකක් වන පවුල් ඒකක දස ලක්ෂයක් ඉතිරි වේද?

2004 දී කෘෂිකර්ම ඇමතිවරයා වූ දී.මු. ජයරත්න මහතා "අපි වවමු රට නගමු" යනුවෙන් මහා කෘෂිකර්ම ක්‍රියාන්විතයක් ඇරඹුවේය.එහෙත් එතුමා අගමැති වූ අද දවසේ අමුමිරිස් කිලෝව රුපියල් දාහටත් ගියේය.වර්ෂාව නිසා එසේ සිදුවුණැයි නිදහසට කාරණා ඉදිරිපත් වූවත් මෙයටත් වඩා විනාශයක් වූ 1957 ගංවතුරෙන් පසු එසේ වී නැති බව අපේ වැඩිහිටියෝ සාකෂ්‍ය දරති.රජයේ පාර්ශවයෙන් ඊට ලැබෙන ප්‍රති උත්තරය නම් එදා මෙතරම් ජනගහණයක් ජීවත් නොවූ නිසා හිගයක් මතු නොවූ බවයි. සැබෑවකි.එහෙත් එදා දවසේ ජනතාව වෙනුවෙන් ජනතා
නියෝජිතයන්ද,ජනතා නියෝජිතයන්ගේ සංකල්ප - යෝජනා ක්‍රියාත්මක කරන්නට ජනතා නිළධාරීන්ද මෙතරම් නොසිටි බවද සැබෑවකි.අද දවසේ පාර්ලිමේන්තුව , පළාත් සභාව, ප්‍රාදේශීය සභාව ඔස්සේ ජනතා නියෝජිතයන් දස දහසක් ඉක්මවා සිටියද, කෘෂිකර්ම සහකාර තනතුරේ සිට ඉහලට නිළධාරීන් රොත්ත බුරුත්තක් සිටියද ඵලක් වී නැත.2005 සිට පොහොර සහනාධාරයෙන් යූරියා මිටියක් රුපියල් 350කට දුන්නද , සෑම බිම් අගලක් ම වගා කිරීමේ මානසික උත්ප්‍රේරණය ජනතාවට ලබාදීමට රජය හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින නිළධාරීන්ට හැකියාව ලැබී නැත.

"මතට තිත", "මග නැගුම", "ගම නැගුම" ආදී බොහෝ සංකල්ප පවතින රජය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒවයේ අරමුණු වල සාඵල්‍යතාවය ප්‍රශ්ණ කළ හැක්කේ ඒවා ක්‍රියාත්මක වීම අවසන් වූ දිනෙක කෙරෙන පසු විපරමකදීය.දැනට ජනතාව ලෙස අපට හැකියාව ඇත්තේ විමසලමත් දෑසින් ඒ දෙස බලා සිටීම පමණි.රජයේ පමණක් නොව රටේ ක්‍රියාත්මක විවිධ සංවිධාන, පුද්ගලයින් හා දේශපාලන පක්ෂ වෙතද විවිධ සංකල්ප , අපේක්ෂා හා අරමුණු ඇත. ජාතික හෙළ උරුමය සතුව ඇත්තේ රට "ධර්ම රාජ්‍යයකට" ගෙන යාමේ පරම පවිත්‍ර වුවමනාවය.ඒ වෙනුවෙන් "මතට තිත" වෙනුවෙන් පෙනි සිටින ඔවුන් අනුරාධ පුර පූජා නගරයට යාබදව ඉදිවන මත්පැන් ගබඩාව ගැන නිහඩය. රජයේ සභාග පක්ෂයක් වන ඔවුන් "රජයේ සූදුපනත" ගැන පුරන්නේ නිහඩ වෘතයකි.එයම එජාප රජයක් ගෙනා දවසක ඔවුන්ගේ ප්‍රතික්‍රියාවන් ඔබට අනුමාන කළ හැකිද? එසේම වත්මන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද සංකල්ප සහිත පුද්ගලයෙකි. ඔහු "සසුනට අරුණ" කැදවයි. හම්බන්තොටට "ජන සුවය" අපේක්ෂා කරයි.ඒවා අවංක අරමුණින් සිදුකරන සමාජ සත් ක්‍රියාවන්ද යන්න හෝ සිය දේශපාලන ගමනේ
ස්ථාවරභාවය වෙනුවෙන් කෙරෙන හුදු ප්‍රචාරාත්මක ක්‍රියාමාර්ගද යන්න තීරණය කිරිමට තවත් කාලයක් බලා සිටීමට අපට සිදුවේ.

මෙවැන් සංකල්ප ගැන කියනවා නම් නිදහසින් පසු දේශපාලකයින් විසින් ඉදිරිපත් කළ සියලු සංකල්ප වල අසාර්ථක භාවය එකින් එක ගෙන සාකච්ඡා කළ හැකිය.එහෙත් අදටද අපේක්ෂා කළ තරමට නැතත් සාර්ථකව අරමුණු ඉටු කරමින් ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය,මහවැලි ව්‍යාපාරය, ආදී දේශපාලන සංකල්ප ද පවතින බව සදහන් කළ හැකිය.එහෙත් 1989න් පසු රජයයන් විසින් ඉදිරිපත් කළ බොහෝ සංකල්ප හා යෝජනා ක්‍රම සෙලවූ සෝඩා බෝතලයක් විවෘත කළාක් බදු මහා ගෝෂාවකින් ඇරඹී කටින් සිටවූ බතල කොළ බවට පත්වී
මියැදී වැළලී ගියේ ජනතාවට පමණක් නොව ඇරඹූ දේශපාලකයින්ටද හොරාය.එහෙත් අද මේ දක්වාම ඒ ඒ විෂයට අදාළව සෑම ඇමති මාරුවකින් ම පත්වී එන ඇමතවරයා කුමක් හෝ අලුත් සංකල්පයක් හදුන්වා දෙයි. ඇමතිවරු මාරුවෙයි. සංකල්පය යටපත්වෙයි.අලුතෙන් පත්වන්නා තවත් අලුත් සංකල්පයක් ලබාදෙයි. ගම් මට්ටමට බිම් මට්ටමට පැමිණීමට පෙර එක්කෝ ඇමති ගෙදරය. නැත්නම් පැවති රජය ගෙදරය. චක්‍රයක් මෙන් කැරකෙමින් මෙය මෙසේ සිදුවෙයි. රට එකතැන පල්වෙයි. ලෝකය ඉදිරියට යද්දී අපි එකතැනම සිටියි.

ඒ අනුව බලන කළ අපේක්ෂා කළ හැක්කේ "දිවිනැගුම" නිසාද සැලසුම් කරන සාර්ථකත්වය ළගාකර ගත නොහැකි බවයි."දිවිනැගුම" මගින් යෝජනා කෙරෙන්නේ සෑම පවුල් ඒකකයක්ම කිසියම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමයි. එහිදී යම් පවුලකට කෘෂිකර්මාන්තයේ නිරත විය හැකි අතර තවත් පවුලකට සත්ව පාලනය තෝරාගත හැක.නැතහොත් ස්වයං රැකියා ලෙස මහුම් ගෙතුම්,විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ආදිය කෙරෙහි යොමුවිය හැක.ඒ සදහා නොමිලයේ බීජ, පොහොර, සතුන්, උපාංග වැනි යෙදවුම් රජය මගින් ලබාදෙන අතර අවශ්‍ය අපදෙස් ලබාදීමට නිලධාරීන්ද යෙදවේ.තවදුරටත් සාර්ථකව මෙම ක්‍රියාවලියට දායක වන පවුල් සදහා ණය ආධාර ලබාදීමද මෙම වැඩපිළිවෙලේ අරමුණු අතර වේ.

නිදහසින් පසු බිහිවූ සෑම රජයයක්ම බලයට පත්වූයේ හෝ බලය තහවුරු කර ගත්තේ මෙරට වැසියාට නොමිලේ ලබාදෙන යම් යම් පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් ගැන පොරොන්දු ලබා දෙමින් හා එම පොරොන්දු අඩු වැඩි වශයෙන් ඉටු කරමිනි.හාල් සලාකයේ,බෙහෙත් පෙත්තේ සිට අද වන විට පොහොර මිටිය හා බැදී ඇත්තේ ද මෙම අමිහිරි දේශපාලන සත්‍යයි.අද නගරයේ ජීවත් වෙන මධ්‍යම පාන්තික හා ඉහළ මධ්‍යම පාන්තික පෞද්ගලික රැකියා කරන හෝ තමන්ගේම ව්‍යාපාර කරන සුඵ පිරිසක් හැර ඉතිරි සියලු දෙනාම රජයෙන් නොමිලයේ ලැබෙන කිසියම් හෝ සහනයක් ප්‍රතික්ෂේප නොකරමින් භුක්ති විදී.එසේම එවැනි සහන යළි යළිත් පත්වන රජයයන් වලින් නොකඩවා අපේක්ෂා කරයි.මෙහි භයානකම තත්වය දක්නට ලැබෙන්නේ උතුරු නැගෙනහිර හා උතුරු මැදපළාත් වලිනි. අද දවසේ අදාළ ප්‍රදේශ වලට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලින් යුද්ධය හෝ පසුගිය අයහපත් කාලගුණය පාදක කොට ගෙන ලැබෙන නිවාස,ඇදුම් පැලදුම් හා පාරිභෝගික ද්‍රව්‍ය ආදිය නිසා පවතින නිවසට අමතර නිවසක් තනාගෙන, පවුලේ සියලු දෙනාට මසක් හමාරක් රැකියාවක් නොකොට හෝ කෑමට අවශ්‍ය හාල්, පිටි, පරිප්පු, සීනි වැනි ද්‍රව්‍ය ගබඩා කොට තබා ජීවත් වන්නට හැකියාව ලැබී ඇත.මෙසේ නොමිලයේ ලැබෙන දේවලින් සිය අවශ්‍යතා සපුරා ගන්නට හැකි වට පිටාවක් නිර්මාණය වන විට නිෂ්පාදන කාර්යයක යෙදී වෙහෙසකර ව්‍යායාමයක් කරනවාට වඩා තව තවත් නොමිලයේ ලැබෙන දෙයක් ගන්නට පෝලිම් වල ලගින්නට හා එවැනි දේවල් දෙන්නට පොරොන්දු දෙන දේශපාලකයන්ට ආවඩමින් කාලය ගත කිරීමට මිනිසා යොමුවීම ඇරුමයක් නම් නොවේ.

ඒ නිසා සිදු විය යුත්තේ අලුත් අලුත් නම් භාවිතා කරමින් පැරණි අච්චුවේ සහනාධාර ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නිවට නියාලු කම්මැලි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බිහිකර ‍ඔවුන් දේශපාලන ගැත්තන් කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම නොවේ.ඊළග ඡන්දය ගැන නොව ඊළග පරම්පරාව ඉලක්ක කරමින් නිකම්මු බවට පත්වී ඇති ජනතාවට මානසික උත්ප්‍රේරණයක් ලබාදෙන විධිමත් වැඩපිළිවෙලක් හා බැදුණු ජීවන මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි.නොමිලයේ ලැබෙන දෙයකට හුරු වීමෙන් ජීවිතය ජයගත නොහැකි බවත්, මහන්සියෙන් උපයා ගන්නා දේ ඉතිරියෙන් හා නිසි ලෙස ආයෝජනයෙන් මෙන්ම නිෂ්පාදන ක්‍රියාදාමයක් ඇරඹීමෙන් පමණක් ජීවිතය ජයගත හැකි බවත් ජනතාවට පැහැදිලි කර දිය යුතුය.දැයට කිරුළ සංගීත ප්‍රසංග වලට රටේ පවතින මාධ්‍ය නාලිකා සියල්ල එක්මිටට ගෙන විසුරුවා හරින්නට කටයුතු කල ආකාරයටම සතියකට වරක් වත් පැයක් දෙකක් වැනි කාලයකටවත් ජනතාවගේ ආකල්ප වර්ධනයට එකමුතු මාධ්‍ය භාවිතාව යොදාගෙන ජාතික වගකීමක් සේ සලකා මේ ක්‍රියාමාර්ගය ගැනීමට රජය උත්සුක විය යුතුය. එබදු මහා මානසික මෙහෙයුමකින් තොරව කෙරෙන හුදු දේශපාලන "රෝඩ් ෂෝ" එකක් බවට දිවිනැගුම ත් පත්වන්නේ නම් තව අවුරුදු දහයකින් දොළහකින් පත්වන රජයකටද දුප්පත්කමෙන් ජනතාව මුදාගැනීමේ තවත් අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට සිදුවනු ඇත.

Email: outofboxsrilanka@gmail.com

Comments

Post a Comment